ක්‍රීඩාව යනු තරගකාරීත්වයකින් එහා ගිය ජනතාවගේ දෛනික ජීවිතයේ සහ සංස්කෘතියේ කොටසක් බවට පත්කිරීමට ආකල්පමය වෙනසක් අවශ්‍ය බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පෙන්වා දෙයි. ජනතාව අතර ක්‍රීඩා සංස්කෘතියක් වර්ධනය කිරීම මඟින් ඉහළ යමින් පවතින රිය අනතුරු සහ තරුණ පරපුර මත්ද්‍රව්‍යවලට යොමුවීම වැනි වත්මන් සමාජ ගැටලු රැසකට විසඳුම් සොයමින්, නිරෝගී මෙන්ම විනයගරුක අනාගත පරපුරක් බිහිකිරීමට හැකිවන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.
තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ 2026 අයවැය ව්‍යාපෘතිවල ප්‍රගතිය සමාලෝචනය සහ 2027 අයවැය යෝජනා පිළිබඳ අද (23) ජනාධිපති කාර්යාලයේ පැවැති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේය.
2028 ඔලිම්පික් උළෙල ඉලක්ක කරගනිමින් දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් හඳුනාගෙන ඔවුන්ට විධිමත් පුහුණුවක් හා ලෝක මට්ටමේ පහසුකම් සැලසීමේ වැදගත්කම මෙහිදී අවධාරණය කෙරිණි. ජාත්‍යන්තර මට්ටම ජයගත හැකි ක්‍රීඩකයන් බිහිකිරීම සඳහා උසස් දැනුමෙන් සපිරි පුහුණුකරුවන්ගේ පද්ධතියක් ශක්තිමත් කිරීමට විධිමත් සැලැස්මක් සකස් කරන ලෙස ද ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය. එමෙන්ම දියගම සහ සුගතදාස ක්‍රීඩාංගණ සංවර්ධනය, මන්නාරම, කිලිනොච්චිය හා කල්මුණේ ක්‍රීඩා සංකීර්ණ ඉදිකිරීම් ඇතුළු ක්‍රීඩා යටිතල පහසුකම් රැසක ප්‍රගතිය ද මෙහිදී සමාලෝචනයට ලක්විය.














