ශ්‍රී ලංකා කෙටි දුර ධාවන ශූර යුපුන් අබේකෝන්, ඉදිරියටත් ශ්‍රී ලංකාව නියෝජනය කිරීම සඳහා රජයෙන් ඇමෙරිකානු ඩොලර් 300,000ක මුදලක් ඉල්ලා සිටි බවට ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා කළ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරමින් කනගාටුව පළ කර සිටියි.
තමන් අදාළ මුදල ඉල්ලා සිටියේ අලුතින් කොන්දේසියක් ලෙස නොව, 2021 වසරේ සිට පසුගිය පාලනයන් විසින් තමන්ට සහ තම පුහුණුකරුවන් ඇතුළු සහායක කණ්ඩායමට ගෙවීමට පොරොන්දු වී වසර 04කට ආසන්න කාලයක් තිස්සේ නොගෙවා හිඟ හිටුවා තිබූ මුදල් ලබාදෙන ලෙස බව යුපුන් අබේකෝන් ප්‍රකාශ කරයි. අමාත්‍යවරයාගේ මෙම ප්‍රකාශය නිසා තමන් මුදල් සඳහාම පමණක් රට වෙනුවෙන් දිවූ අයෙකු ලෙසත්, දේශපාලනික වශයෙන් අසාධාරණ ලෙසත් චිත්‍රණය වී ඇති බව පවසන යුපුන්, ඉතාලි පෞරවැසිභාවය ලබා ගැනීමට අවස්ථාව තිබියදීත් ශ්‍රී ලංකා ජාතික කොඩිය වෙනුවෙන් ආඩම්බරයෙන් තරග කළ ක්‍රීඩකයෙකුට මෙලෙස අසාධාරණ ලෙස චෝදනා කිරීම තදින්ම ප්‍රතික්ෂේප කරන බව වැඩිදුරටත් සඳහන් කරයි.














