කොළඹ වරාය නගරයේදී (Port City) චීන ජාතිකයෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව, සැකකරුවන් පැමිණි බවට විශ්වාස කෙරෙන අභ්‍යන්තරයේ ලේ පැල්ලම් සහිත සුඛෝපභෝගී ජීප් රථය අද (23) රාත්‍රියේ පාදුක්ක, පහළ බෝපේ මංසන්ධියේ දමාගොස් තිබියදී පොලීසිය මඟින් සොයාගෙන තිබේ. සොයාගන්නා අවස්ථාවේදීත් මෙම රථය පසුපස ගියරය යොදා පණගන්වා තිබූ අතර රථයේ ඇඟිලි සලකුණු පරීක්ෂණ මේ වන විට ආරම්භ කර ඇත.
අදාළ ජීප් රථයෙන් පැමිණි චීන ජාතිකයන් තිදෙනෙකු ත්‍රීරෝද රථයකින් කොල්ලුපිටිය දෙසට පලාගොස් ඇති අතර, එම ත්‍රීරෝද රථයේ රියදුරු ද මේ වන විට අත්අඩංගුවට ගෙන තිබේ. පලාගිය චීන ජාතිකයන් තිදෙනාගෙන් දෙදෙනෙකු අද කටුනායක ගුවන්තොටුපොළ ආසන්නයේදී පොලිස් අත්අඩංගුවට පත්ව ඇති අතර, පැහැරගැනීමට ලක්වූ චීන ජාතිකයාගේ මළසිරුර ඇහැළියගොඩ, කරඳන ප්‍රදේශයේ කැලෑබද ස්ථානයක තිබී සොයාගන්නා ලදී.














