ඇමෙරිකානු තාක්ෂණය භාවිත කරමින් සවුදි අරාබිය තුළ සිවිල් න්‍යෂ්ටික බලගාර ඉදිකිරීමට සහ යුරේනියම් පිරිපහදු කිරීමට අවසර දෙන ඇමෙරිකා-සවුදි ගිවිසුම හේතුවෙන් මැදපෙරදිග කලාපය තුළ දැවැන්ත අවි තරගයක් ආරම්භ විය හැකි බවට ඉශ්‍රායල දේශපාලන හා ආරක්ෂක අංශ අනතුරු අඟවයි. ඇමෙරිකානු කොංග්‍රස් මණ්ඩලයේ අනුමැතිය හිමිවිය යුතුව ඇති මෙම ගිවිසුම, ඉශ්‍රායලයේ දීර්ඝකාලීන ආරක්ෂාවට දැඩි තර්ජනයක් බව එරට විපක්ෂ නායකයින් පෙන්වා දෙයි.
සවුදි පසෙහි යුරේනියම් පිරිපහදු කිරීමට ඉඩදීම මගින් පාලනය කළ නොහැකි කලාපීය න්‍යෂ්ටික තරගයක් නිර්මාණය වන බව ඉශ්‍රායල හිටපු අගමැති නෆ්තාලි බෙනට් ප්‍රකාශ කර ඇත. එමෙන්ම, සිවිල් න්‍යෂ්ටික වැඩසටහනක් ලෙස ආරම්භ වුවද, අවසානයේ සවුදිය න්‍යෂ්ටික ආයුධ නිෂ්පාදනය දෙසට යොමුවිය හැකි බවට හිටපු ආරක්ෂක අමාත්‍ය අවිග්ඩෝර් ලිබර්මාන් චෝදනා කරන අතර, මෙම ගිවිසුම වළක්වාලීම සඳහා ඉශ්‍රායලය ඇමෙරිකානු කොංග්‍රස් මණ්ඩලයට බලපෑම් කළ යුතු බවද ඔහු සඳහන් කරයි. මීට පෙර ඇමෙරිකාව සැලසුම් කර තිබුණේ ඉශ්‍රායලය සහ සවුදි අරාබිය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා සාමාන්‍යකරණය කිරීමේ ගිවිසුමකට යටත්ව මෙම න්‍යෂ්ටික පහසුකම් ලබාදීමට වුවද, දැනට එම කොන්දේසියකින් තොරව ගිවිසුම ඉදිරියට යාම පිළිබඳව ද ඉශ්‍රායල නායකයන්ගේ දැඩි විරෝධය එල්ල වී ඇත.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්
















