එල්නිනෝ කාලගුණික විපර්යාසය බලාපොරොත්තු වූ කාලසීමාවටත් වඩා පෙර, එනම් ඉදිරි නොවැම්බර් මාසයේදී පමණ ජනතාවට මුහුණ දීමට සිදුවනු ඇතැයි පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා ප්‍රකාශ කර තිබේ. එල්-නිනෝ තත්වයෙන් ශ්‍රී ලංකාවට සිදුවිය හැකි බලපෑම සම්බන්ධයෙන් පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළ අතර, මෙම බලපෑම හේතුවෙන් ජූලි, අගෝස්තු සහ සැප්තැම්බර් යන මාසවලදී දිවයින පුරා දැඩි වියළි කාලගුණයක් සහ නියං තත්වයක් උදාවිය හැකි බවද අනතුරු ඇඟවීය.
ඔක්තෝබර්, නොවැම්බර් සහ දෙසැම්බර් මාසවලදී අධික වර්ෂාපතනයක් ඇති විය හැකි බවත්, පරිසර උෂ්ණත්ව පරාසයේ සිදුවන වෙනස්වීම් මත දිවා හා රාත්‍රී කාලයේ උෂ්ණත්වයේ වැඩි වීමක් සිදුවිය හැකි බවත් ඔහු පෙන්වා දුන්නේය. මෙය ගෝලීය පාරිසරික තත්වයක් බැවින්, ඉදිරියේදී ඇතිවිය හැකි දැඩි නියඟය හමුවේ ජලය සහ බලශක්තිය අරපිරිමැස්මෙන් භාවිත කිරීමට මහජනතාව වගබලා ගත යුතු බව අමාත්‍යවරයා අවධාරණය කළේය.මෙම මාධ්‍ය හමුවට එක්වූ කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අජිත් විජේමාන්න මහතා ප්‍රකාශ කළේ, මෙතෙක් දුර්වල මට්ටමේ පැවති එල්නිනෝ තත්වය මේ වනවිට මධ්‍යස්ථ මට්ටමට පැමිණ ඇති බවයි. ඔක්තෝබර්, නොවැම්බර් සහ දෙසැම්බර් වනවිට එය අති ප්‍රබල මට්ටමකට වර්ධනය වීමේ 81%ක සම්භාවිතාවක් පවතින බවත්, ගෝලීය කාලගුණ අංශ නිවේදනය කර ඇති පරිදි මෙම එල්-නිනෝ තත්වය මාස 10ත් 12ත් අතර කාලයක් පවතිනු ඇති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.














