ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (SLCERT) විසින් රජයේ ආයතන සහ තීරණාත්මක තොරතුරු යටිතල පහසුකම් (CII) ආරක්ෂා කිරීම අරමුණු කරගනිමින් ජාතික මට්ටමේ සයිබර් ආරක්ෂණ පහසුකමක් වන අනිෂ්ට මෘදුකාංග විශ්ලේෂණ සහ තර්ජන සෙවීමේ විමර්ශනගාරය (Malware Analysis & Threat Hunting – MATH Lab) නිල වශයෙන් ස්ථාපිත කර තිබේ.
සාම්ප්‍රදායික ප්‍රතිචාර දැක්වීමේ ක්‍රමවලින් ඔබ්බට යමින්, මුල් අවධියේදීම සයිබර් තර්ජන හඳුනාගැනීම සහ බුද්ධිමත්ව තර්ජන අපේක්ෂා කිරීම මෙමඟින් අපේක්ෂා කෙරේ. ඩිජිටල් රජයේ සේවාවන් පුළුල් වීමත් සමඟ වර්ධනය වන සයිබර් අවදානම් මැඩලීම සඳහා සෞඛ්‍ය, අධ්‍යාපන සහ බලශක්ති වැනි අංශ ආවරණය වන පරිදි රජයේ ආයතන 250කට අධික සංඛ්‍යාවකට මෙම විමර්ශනගාරය හරහා සහය ලැබෙනු ඇත.














