වසර 6ක සේවා කාලයක් සම්පූර්ණ කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ චීන තානාපති ක්ෂී ෂෙන්හොං (Qi Zhenhong) මහතා සහ එම මහත්මිය සිය සේවා කාලය නිමවා මෙරටින් සමුගැනීමට නියමිත අතර, ඒ වෙනුවෙන් ඔහු විසින් විශේෂ සමුගැනීමේ ලිපියක් නිකුත් කර තිබේ.
“Farewell, Ceylon; Together We Continue the Story Across Mountains and Seas” යන තේමාවෙන් නිකුත් කළ මෙම ලිපියෙන් ඔහු පෙන්වා දෙන්නේ කොවිඩ් වසංගතය, ආර්ථික අර්බුදය, ඩිට්වා (Ditwah) සුළි සුළඟ සහ මැදපෙරදිග යුද ගැටුම් හමුවේ පවා චීනය සහ ශ්‍රී ලංකාව වෙනස් නොවන මිත්‍රත්වයකින් කටයුතු කළ බවයි. කොළඹ වරාය නගරය, හම්බන්තොට වරාය, මධ්‍යම අධිවේගී මාර්ගයේ වැඩ නැවත ඇරඹීම, ජාතික වෘක්කවේද රෝහල සහ පාසල් නිල ඇඳුම් රෙදි පරිත්‍යාග කිරීම ඇතුළු චීන සහන ව්‍යාපෘති රැසක් සිය ධුර කාලය තුළ සාර්ථකව සිදුකිරීමට ලැබීම පිළිබඳව තමා ආඩම්බර වන බව ද තානාපතිවරයා සඳහන් කර සිටියි. 2027 වසරේදී චීන-ශ්‍රී ලංකා රාජ්‍යතාන්ත්‍රික සබඳතාවලට වසර 70ක් පිරෙන අතර, දෙරට අතර සබඳතා තවදුරටත් ශක්තිමත් වන බවට ද ඔහු විශ්වාසය පළ කරයි.
















