මාස ගණනාවක් පුරා වසා දමා තිබූ තලේමන්නාරම දුම්රිය මාර්ගයේ සංඥා පද්ධතිය යථා තත්ත්වයට පත් කිරීමෙන් තොරව, අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි අලුයම් කාලයේ දුම්රිය ධාවනය ආරම්භ කිරීමට පියවර ගැනීම පිළිබඳව ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය සිය දැඩි විරෝධය පළ කරයි.
එම සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා පෙන්වා දෙන්නේ මැදවච්චියෙන් ඔබ්බට වූ දීර්ඝ කාලයක් වසා තැබුණු සංඥා පද්ධතිය මේ වන විටත් ක්‍රියා විරහිත මට්ටමේ පවතින පසුබිමක මෙලෙස අනාරක්ෂිත ලෙස දුම්රිය ධාවනය කරවීම අනුමත කළ නොහැකි බවයි.
වෘත්තීය සමිති ඉදිරිපත් කරන සාධනීය යෝජනා සහ අදහස් කෙරෙහි කිසිදු අවධානයක් යොමු නොකර, කිසිදු සාධනීය විසඳුමක් ලබා නොදී කඩිමුඩියේ දුම්රිය ධාවනය ආරම්භ කිරීමෙන් සිදු විය හැකි අනතුරුවල වගකීම අදාළ බලධාරීන් භාර ගත යුතු බව ද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.
ආපදා තත්ත්වයන් සහ මාර්ග අලුත්වැඩියා කටයුතු හේතුවෙන් තලේමන්නාරම මාර්ගයේ දුම්රිය ගමනාගමනය දීර්ඝ කාලයක් තිස්සේ අත්හිටුවා තිබූ අතර, මෑතකදී එහි මාර්ග සංවර්ධන කටයුතු අවසන් කිරීමෙන් අනතුරුව මගී ප්‍රවාහන සේවා යළි ආරම්භ කිරීමට පියවර ගැනුණි. කෙසේ වෙතත්, මගී සහ දුම්රිය කාර්ය මණ්ඩලවල ආරක්ෂාව තහවුරු කෙරෙන තාක්ෂණික සහ සංඥා පද්ධති පූර්ණ ලෙස යථා තත්ත්වයට පත් කිරීමෙන් අනතුරුව පමණක් දුම්රිය සේවා ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම දුම්රිය වෘත්තීය සමිති අවධාරණය කරයි.














