එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් ධුරය දෙවන වරටත් දැරීම සඳහා පැවති මත විමසුම වෝල්කර් ටර්‌ක් ජයගෙන ඇති බව විදේශ මාධ්‍ය වාර්‌තා සදහන් කරයි. ඒ අනුව එළඹෙන ඔක්තෝබර් මස 11 වන දින නිල කාලය නිමා වීමට නියමිතව තිබූ ඔහුගේ ධුර කාලය තවත් වසර හතරක කාලයකින් දීර්‌ඝ වනු ඇත.
එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ පැවති මෙම ඡන්ද විමසීමේදී අදාළ යෝජනාවට පක්ෂව සාමාජික රටවල් 144ක් ඡන්දය භාවිත කර ඇති අතර, ඊට විරුද්ධව ලැබී ඇත්තේ ඡන්ද 10ක් පමණි. ඒ අනුව වෝල්කර් ටර්‌ක් මෙම ඡන්දය වැඩි ඡන්ද 134කින් ජයග්‍රහණය කර ඇති අතර, මෙහිදී රටවල් 13ක් ඡන්දය භාවිත කිරීමෙන් වැළකී සිට ඇත. එක්සත් ජනපදය, ඊශ්‍රායලය, රුසියාව සහ උතුරු කොරියාව ඇතුළු රටවල් දහයක් ඔහුගේ නැවත තේරී පත්වීමට විරුද්ධත්වය පළ කර තිබේ.
විශේෂයෙන්ම ගාසා තීරයේ සහ මැදපෙරදිග කලාපයේ ඊශ්‍රායල හමුදා ක්‍රියාමාර්‌ග දැඩි ලෙස විවේචනය කළ අයෙකු ලෙස වෝල්කර් ටර්‌ක් ප්‍රකටය.
1993 වසරේදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් ධුරය ස්ථාපිත කිරීමෙන් අනතුරුව, වෝල්කර් ටර්‌ක් සිය දෙවන ධුර කාලය සාර්‌ථකව අවසන් කළහොත් එම ධුරයේ පූර්‌ණ ධුර කාලයන් දෙකක් සම්පූර්‌ණ කළ ප්‍රථම මහ කොමසාරිස්වරයා ලෙස ඉතිහාසයට එක්වනු ඇත.














