රුපියල් මිලියන 110කට ආසන්න වටිනාකමකින් යුත් කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් ශ්‍රී ලංකාවට රැගෙන ආ 79 හැවිරිදි ස්පාඤ්ඤ ජාතිකයෙකු කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. කෘෂිකාර්‌මික ඉංජිනේරුවරයෙකු වන අදාළ සැකකරු සියෙරා ලියෝන් සිට අඩිස් අබාබා සහ දෝහා හරහා කටාර් එයාර්‌වේස් ගුවන් සේවයට අයත් QR654 දරන ගුවන් යානයෙන් මෙරටට පැමිණ ඇති අතර, ඔහු සතුව තිබී සොයාගත් කොකේන් ප්‍රමාණයේ මුළු බර කිලෝග්‍රෑම් 2.198ක් ලෙස සටහන් වේ.
සැකකරු පසුගිය 22 වනදා මෙරටට පැමිණි අවස්ථාවේදී ඔහු සතු වූ අතේ ගෙන යන ගමන් මල්ල පරීක්ෂාවට ලක් කළද කිසිදු සැකකටයුතු ද්‍රව්‍යයක් හමු වී නොමැති අතර, ඔහුගේ අනෙක් ගමන් මල්ල අදාළ ගුවන් යානයෙන් පැමිණ නොතිබීම නිසා පැමිණීමේ කටයුතු නිමවා ගුවන් තොටුපොළෙන් පිටව යාමට ඔහුට අවසර හිමිව තිබුණි. පසුව ශ්‍රී ලංකාවට පැමිණි ප්‍රමාද වූ ගමන් මල්ල භාර ගැනීම සඳහා සැකකරු ඊයේ (24) පස්වරු 6.30ට පමණ නැවත පැමිණීමේ පර්‌යන්තයට පැමිණි අවස්ථාවේදී, එම ගමන් මල්ල එක්ස්-රේ (X-Ray) යන්ත්‍ර මගින් පරීක්ෂා කිරීමේදී සැකකටයුතු තොරතුරු නිරීක්ෂණය වී ඇත. ඒ අනුව සිදු කළ පූර්‌ණ භෞතික පරීක්ෂාවේදී ගමන් මල්ල තුළ තිබූ ලිපිගොනු රඳවන දෙකක් ඇතුළත ඉතා සූක්ෂම ලෙස සඟවා තිබූ කොකේන් පාර්‌සල් හතරක් සොයා ගැනීමට රේගු නිලධාරීන් සමත් වී තිබේ.
මෙම ජාවාරම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රේගුව විසින් මූලික විමර්‌ෂණ කටයුතු ආරම්භ කර ඇති අතර, අත්අඩංගුවට ගත් ස්පාඤ්ඤ ජාතික සැකකරු සහ රුපියල් මිලියන 109.9ක් ලෙස තක්සේරු කර ඇති කොකේන් තොගය වැඩිදුර විමර්‌ෂණ හා ඉදිරි නීතිමය කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්‌යාංශය (PNB) වෙත භාරදීමට කටයුතු යොදා ඇත. ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් ශ්‍රී ලංකාව සංක්‍රමණික මධ්‍යස්ථානයක් ලෙස හෝ මත්ද්‍රව්‍ය හුවමාරු කිරීමේ ස්ථානයක් ලෙස භාවිත කිරීමට දරන උත්සාහයන් වැළැක්වීම සඳහා ගුවන් තොටුපොළ රේගු පාලන ඒකක සිය විමර්‌ෂණ කටයුතු තවදුරටත් දැඩි කර තිබේ.














