කොළඹ වරාය නගරයේදී චීන ජාතිකයෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් චීන ජාතිකයන් දෙදෙනා පැය 48ක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් අවසර
කොළඹ වරාය නගරයේදී චීන ජාතිකයෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් චීන ජාතිකයින් දෙදෙනා පැය 48ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය කොළඹ අපරාධ කොට්ඨාසයට අවසර ලබාදී තිබේ. සැකකරුවන් දෙදෙනා විසින් ඝාතනය කරන ලදැයි සැකකෙරෙන පුද්ගලයාගේ මෘත ශරීරය ඇහැළියගොඩ කරඳන ප්‍රදේශයේ කැලෑබද ස්ථානයක ගල් ගොඩකින් සඟවා තිබියදී පොලිසිය විසින් සොයාගෙන ඇත.
කොළඹ කොටුව වරාය නගරයේ මාළු බාමින් සිටි චීන ජාතිකයින් තිදෙනෙකු වෙත වාහන දෙකකින් පැමිණි පිරිසක් පහරදී මෙම පුද්ගලයා පැහැරගෙන ගොස් ඇති අතර, එම ස්ථානයේ තිබී සැකකරුවන් දමාගිය වෑන් රථයක් සහ වායු පිස්තෝලයක් පොලිස් භාරයට ගෙන තිබේ. අනතුරුව ඇහැළියගොඩ ප්‍රදේශයේ සිදුකළ නීතිවිරෝධී මත්පැන් වැටලීමකදී සැකකටයුතු ලෙස හමු වූ මෘත ශරීරය පැහැරගැනීමට ලක්වූ චීන ජාතිකයාගේ බවට හඳුනාගැනීමෙන් පසු වැඩිදුර පරීක්ෂණ සඳහා අවිස්සාවේල්ල රෝහලට යොමුකර ඇත. සිරුර හමු වූ ස්ථානය ආසන්නයේ තිබී අත්අඩංගුවට ගත් මෝටර් රථය, මෘත දේහය ප්‍රවාහනය කිරීම සඳහා භාවිත කරන්නට ඇතැයි පොලිසිය සැකකරයි.
මේ අතර සිද්ධියට සම්බන්ධ සැකකාර චීන ජාතිකයින් දෙදෙනා මෙරටින් පළායාමට තැත් කිරීමේදී කටුනායක ගුවන් තොටුපොළ ආසන්නයේදී අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්‌ශන සඳහා වෙරළබඩ පොලීසිය වෙත යොමුකර තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් මහතා සඳහන් කළේ සිද්ධියට සම්බන්ධ අනෙකුත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක බවයි. චීන ජාතිකයින් අතර හටගත් මෙම ගැටුමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය සහ වෙරළබඩ පොලීසිය වැඩිදුර විමර්‌ශන පවත්වයි.














