ශ්‍රී ලංකාවේ චීන මහජන ජනරජයේ තානාපති ලෙස කටයුතු කළ ෂී ෂෙන්ග්හොන්ග් (Qi Zhenhong) මහතා සහ එම මහත්මිය වසර හයක සේවා කාලය අවසන් කරමින් ශ්‍රී ලංකාවෙන් නික්ම යාමට සූදානම් වේ. සිය රාජ්‍යතාන්ත්‍රික සේවා කාලය නිම කරමින් විශේෂ සමුගැනීමේ ප්‍රකාශයක් නිකුත් කර ඇති චීන තානාපතිවරයා, “සමුගනිමු ලංකා; කඳු හෙල් සහ සාගර තරණය කරමින් අපි එකිනෙකාගේ කතාව ඉදිරියට ලියමු” යන්න තේමා කරගනිමින් ශ්‍රී ලාංකේය ජනතාව වෙත සිය කෘතඥතාව සහ අදහස් පළ කර තිබේ.
තමන්ගේ රාජ්‍යතාන්ත්‍රික ජීවිතයේ දීර්ඝතම සේවා කාලය ශ්‍රී ලංකාවේ ගත කළ බව සඳහන් කරන තානාපතිවරයා, පසුගිය වසර හය පුරා පැවැති අභියෝගාත්මක කාලපරිච්ඡේදයන්හිදී දෙරට අතර සබඳතා තවදුරටත් ශක්තිමත් වූ බව පෙන්වා දෙයි. කොවිඩ්-19 වසංගත සමය, ශ්‍රී ලංකාව මුහුණ දුන් ආර්ථික අර්බුදය, ‘දිත්වා’ (Ditwah) සුළි සුළං ආපදාව මෙන්ම මැදපෙරදිග අර්බුදය හමුවේ ඇති වූ බලශක්ති අර්බුදය වැනි සෑම අවස්ථාවකදීම චීනය සහ ශ්‍රී ලංකාව එකිනෙකාට උපකාර කරගනිමින් නොසැලී සිටි බව ද ඔහු සිහිපත් කර සිටියි.
ඓතිහාසික ‘රබර්-සහල් ගිවිසුමේ’ අන්තර්ගත වූ ස්වාධීනත්වය සහ ස්වයංපෝෂිතභාවය යන පදනම මත පිහිටා දෙරටේ මිත්‍රත්වය ඉදිරියට ගිය බව පෙන්වා දෙන තානාපති ෂී ෂෙන්ග්හොන්ග් මහතා, එළඹෙන වසරේදී දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතාවලට වසර 70ක් පිරෙන බව ද සඳහන් කළේය.
ඉදිරියටත් දෙරට අතර වෙළෙඳ, සංචාරක, කෘෂිකාර්මික, ඩිජිටල් පරිවර්තන, නව බලශක්ති සහ සාගර ආර්ථික ඇතුළු ක්ෂේත්‍ර රැසක සහයෝගීතාව වර්ධනය කරගැනීමට චීනය සූදානම් බව ප්‍රකාශ කරන ඔහු, ශ්‍රී ලංකාවේ රජයට, පාර්ලිමේන්තුවට, ආගමික නායකයන්ට, මාධ්‍යයට සහ සමස්ත ජනතාවට කෘතඥතාව පළ කරමින් තමන් කොතැනක සිටියද ශ්‍රී ලංකා-චීන මිත්‍රත්වය වෙනුවෙන් අඛණ්ඩව පෙනී සිටින බව වැඩිදුරටත් සඳහන් කරයි.














