ජාත්‍යන්තර පරිගණක අපරාධ ජාලයක ප්‍රධානියකු සහ ප්‍රකෝටිපතියකු වන හාඕ පොන් නැමැති චීන ජාතිකයා කොළඹ වරාය නගරයේදී පැහැරගෙන ගොස් ඇහැලියගොඩ කරඳන කැලෑවේදී කෲර ලෙස ඝාතනය කිරීමේ සිද්ධියක් අනාවරණය වී තිබේ.
පරිගණක අපරාධ මගින් උපයාගත් රුපියල් කෝටි ගණනක මුදල් සම්බන්ධයෙන් හටගත් උග්‍ර ආරවුලක් මෙම ඝාතනයට මුල් වී ඇති අතර, චීන ජාතිකයන් විසිදෙනකු පමණ මෙම අපරාධයට හවුල් වී ඇත. මිතුරන් ලෙස පෙනී සිටි චීන ජාතිකයන් දෙදෙනෙකු විසින් ඔහුව වරාය නගරයේ පාලමක් වෙත කැඳවා මාළු බාමින් සිටියදී සංවිධානාත්මක කල්ලියක් විසින් පැහැරගෙන ගොස් ඇහැලියගොඩ කරඳන ඝන කැලෑවකට ගෙන ගොස් අත්පා ගැටගසා, කෲර වධහිංසා පමුණුවා, කපා කොටා ඝාතනය කර සිරුර ගල්වලින් වසා දමා පලාගොස් තිබේ.
කරඳන ප්‍රදේශයේ සිදු කළ පොලිස් වැටලීමකදී ගල්ගොඩක් අතරින් එළියට මතුව තිබූ මිනිස් අතක් නිරීක්ෂණය වීමෙන් මෙම මළසිරුර සොයාගෙන ඇති අතර, මේ වන විට සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. සැකකරුවන් රටින් පලායාම වැළැක්වීම සඳහා විදේශ ගමන් තහනමක් ද පනවා ඇති අතර, නිර්දෝෂී චීන ජාතිකයන්ට අසාධාරණයක් නොවන ලෙස කඩිනම් විමර්ශනයක් පවත්වන ලෙස ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය ඉල්ලා සිටී.
















