කොළඹ කොටස් හුවමාරුව (CSE) සහ ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව (SEC) එක්ව ක්‍රියාත්මක කරන **’සැමට කොටසක්, සැමට ඒකකයක්’** ආයෝජන වැඩසටහන, මේ සතියේ මොණරාගල (සිලන්රිච් හෝටලය) සහ මඩකලපුව (එෆ්ජී ගෝල්ඩන් රිවර් හෝටලය) යන ප්‍රදේශවල පැවති ආයෝජන සම්මන්ත්‍රණවලදී නිල වශයෙන් දියත් කරන ලදී.
මෙම සම්මන්ත්‍රණ සඳහා 500කට අධික පිරිසක් සහභාගී වූ අතර, බස්නාහිර පළාතෙන් ඔබ්බට ආයෝජක සහභාගීත්වය පුළුල් කිරීම සහ ප්‍රාග්ධන වෙළඳපොළ පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීම මෙහි අරමුණයි. ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඩී.බී.පී.එච්. දිසාබණ්ඩාර මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක වන මෙම වැඩසටහන යටතේ, සහභාගී වන්නන් වෙත ආයෝජන කූපන්පත් ලබා දීමට ද කටයුතු යොදා තිබුණි.
ප්‍රාග්ධන වෙළඳපොළේ වසර හයක් පුරා වාර්තා වී ඇති 360%ක වර්ධනයක් සහිතව (සියලු කොටස් මිල දර්ශකය ඒකක 22,310.80 දක්වා ඉහළ යාම), ආයෝජකයින්ට කොටස් තැරැව්කාර සමාගම් සහ ඒකක භාර කළමනාකරණ සමාගම් හරහා වෙළෙඳපොළට පිවිසීමට මෙහිදී පුළුල් අවස්ථාව සලසා දී ඇත.
















