පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සෞඛ්‍ය මධ්‍යස්ථානයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරිනී චන්දිමා රත්නායක පසුගිය දිනවල සිය නිවසේ වැඩකටයුතු සඳහා විශ්වවිද්‍යාල සේවකයන් යොදාගැනීමත්, ගිලන්රථය සිය පෞද්ගලික ගමන්බිමන් සඳහා යොදාගැනීමත් හේතුවෙන් විගණන අංශයේ පරීක්ෂාවකට ලක්වීම ආන්දෝලනයකට ලක්වූ සිදුවීමක් විය.
ඇය වඩාත් ප්‍රසිද්ධියට පත්වූයේ එම බරපතල වැරදි සිදු කිරීමටත් වඩා එකී වැරදිවලට මාස 4කට වැඩි කාලයක් පුරා කිසිදු දඬුවමක් නොලබා සිටීමට දැක්වූ සමර්ථතාව හේතුකොටගෙනය. ඒ හා සමානව තවත් අපූරු වාර්තාගත ක්‍රියාවක් පේරාදෙණිය විශ්වවිද්‍යාල සෞඛ්‍ය මධ්‍යස්ථානයෙන් අප වෙත වාර්තා වී ඇත.
රුවන් කුමාර ගජනායක නම් සාත්තු සේවා සහායකයෙක් (Male Attendant) එම සෞඛ්‍ය මධ්‍යස්ථානයේ සේවය කරයි. 2019 වසරේදී ඔහුට වැඩබලන වැඩ පරීක්ෂක (Act. Supervisor) තනතුරකට උසස්වීමක් ලබාදී තිබෙන්නේ එවැනි තනතුරක පුරප්පාඩුවක් නොතිබියදී සහ එවැනි තනතුරක් සඳහා අවශ්‍ය අවම සුදුසුකම් පවා ඔහු සතුව නොතිබියදී බව දැනගන්නට ඇත.
එම වසරේ සිට අද දක්වා වසර 7කට අධික කාලයක් මෙම පුද්ගලයා එකී වැඩබලන තනතුරේ අඛණ්ඩව කටයුතු කරනු ලබන අතර, ඔහු කිසිවිටෙක සිය ස්ථීර තනතුර වන සාත්තු සේවා සහායක (Male Attendant) තනතුරේ රාජකාරී කිසිවක් ඉටු කරන්නේ නැති බවත් වාර්තා වේ.
විශ්වවිද්‍යාල ආයතන සංග්‍රහයට අනුව අත්‍යවශ්‍ය නොවන තනතුරු සඳහා වැඩබලන පත්කිරීම් නොකළ යුතු වන අතර එවැනි අත්‍යවශ්‍ය පත්කිරීමකදී වුවද අදාළ තනතුර සඳහා වන අවම සුදුසුකම් එම පුද්ගලයාට තිබිය යුතු වේ. එවැනි සුදුසුකම් සහිත වැඩබලන පත්කිරීමක් වුවද අඛණ්ඩව වසර 7ක් පවත්වාගෙන යා නොහැකි අතර මාස 6කට පසුව අදාළ තනතුරට ස්ථීර පුද්ගලයෙකු බඳවාගැනීම සිදු කළ යුතුය.
මේ සියලු නීතිමය ප්‍රතිපාදන පසෙකලා මෙම පුද්ගලයාට වැඩබලන පත්වීමක් ලබාදීමට හේතුව කුමක්ද යන්න සහ එම පත්වීම වසර 7ක් අඛණ්ඩව පවත්වාගෙන යාමට හේතුව කුමක්ද යන්න විගණන අංශ විසින් වහාම සොයා බැලිය යුතුය.
මෙම වැඩබලන පත්වීමට අදාළව මොහුට පවරා තිබෙන රාජකාරියද අපූරුය. විශ්වවිද්‍යාලයට පිරිසිදු කිරීමේ සේවා පවත්වාගෙන යාමට කොන්ත්‍රාත් ලබාදී තිබෙන පෞද්ගලික සමාගමෙහි සේවක සේවිකාවන් අධීක්ෂණය කිරීම මොහුගේ රාජකාරියයි. ඒ සඳහා උසස්වීමක්ද ලබාදී මොහු පත්කර තිබෙන්නේ එම පෞද්ගලික කොන්ත්‍රාත් සමාගම විසින්ද සුපවයිසර්වරුන් කිහිපදෙනෙකු සහ කළමනාකාරවරයෙකු පත්කර තිබෙන තත්ත්වයකදීය.
මේ ආකාරයට ගියහොත් නුදුරේදීම පේරාදෙණිය විශ්වවිද්‍යාලය මෙම පුදුමසහගත ක්‍රියාවන්ගෙන් ගිනස් වාර්තාවක්ද තබනු ඇති බව එහි සේවකයෝ පවසති.














