වත්තේගම, මීගම්මන රජමහා විහාරාධිපති පූජ්‍ය මානින්ගමුවේ පියරතන නාහිමිපාණන් වහන්සේ වෙත ‘පහත දුම්බර ප්‍රධාන සංඝනායක’ පදවිය පිළිබඳ අක්ත පත්‍ර ප්රදානය කිරීම වෙනුවෙන් විශේෂ ආගමික උත්සවයක් එම විහාරස්ථානයේදී පැවැත්විණි. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින් කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති, අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය නාරම්පනාවේ ශ්‍රී ආනන්ද නාහිමියෝ සඳහන් කළේ වර්තමානයේ සමාජය මුහුණ දී ඇති ප්‍රධානතම ගැටළුවක් වී ඇත්තේ නායකයන් කොපමණ සිටියද ඔවුන් තුළ සැබෑ නායකත්ව ලක්ෂණ නොමැති වීම බවයි.
පදවියකට අදාළ ශාසනික, ආගමික සහ සමාජයීය කාර්යභාරයන් මැනවින් ඉටු කිරීම නායකත්වයක සැබෑ අරමුණ වන බව පෙන්වා දුන් අනුනායක හිමියෝ, සම්බුද්ධ ශාසනය තුළ මතුව ඇති විවිධ අර්බුද පිළිබඳවද මෙහිදී දැඩි අවධානයක් යොමු කළහ. භික්ෂු වේශයෙන් පෙනී සිටිමින් බුදුදහමේ හරය විකෘති කරමින් දේශනා පවත්වන ඇතමුන් මහා නායක හිමිවරුන්ට පවා අවනත නොවන බවත්, එවැනි භික්ෂු ප්‍රතිරූපකයන්ගෙන් ශාසනය රැකගැනීම සඳහා මහා සංඝරත්නයට පමණක් තනිව කටයුතු කළ නොහැකි බැවින් රජයේ සහ ජනතාවගේ වගකීම අත්‍යවශ්‍ය වන බවත් උන්වහන්සේ වැඩිදුරටත් අවධාරණය කළහ.
මෙම පින්කමට සමගාමීව, දෙස් විදෙස් ආධාර මත රුපියල් මිලියන 30ක වියදමින් මීගම්මන රජමහා විහාරස්ථානයේ අභිනවයෙන් ඉදි කරන ලද ධර්මශාලා මන්දිරය විවෘත කිරීමද සිදු කෙරිණි. අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ ප්‍රධාන ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද, නියෝජ්‍ය ලේඛකාධිකාරී පූජ්‍ය මුරුද්දෙණියේ ධම්මරතන, ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික පූජ්‍ය ගොඩගම ශ්‍රී මංගල යන නාහිමිවරුන් ප්රමුඛ මහා සංඝරත්නය සහ ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා ඇතුළු ගිහි පැවිදි ආරාධිත පිරිසක් මෙම අවස්ථාව සඳහා සහභාගි වූහ.














