යුරෝපයේ ඉහළම කන්ද වන රුසියාවේ එල්බ්‍රස් කන්දේදී (Mount Elbrus) හටගත් දරුණු කුණාටුවකට හසුවීමෙන් බොස්නියානු ජාතික කඳු නගින්නන් පස් දෙනෙකු මියයන්නට ඇතැයි එරට කඳු නගින්නන්ගේ ගලවා ගැනීමේ සේවය ප්‍රකාශ කර තිබේ.
රුසියානු හදිසි අවස්ථා අමාත්‍යාංශය පවසා ඇත්තේ ගලවා ගැනීමේ කණ්ඩායම් විසින් කඳු නගින්නන් දෙදෙනෙකු බේරාගෙන වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කර ඇති බවයි.
මීටර් 5,350ක (අඩි 17,550) උන්නතාංශයක තිබී එම කණ්ඩායමේම තවත් සාමාජිකයින් දෙදෙනෙකුගේ මළ සිරුරු සොයාගෙන ඇති අතර, කාලගුණය යහපත් වූ පසු ඒවා පහළට ගෙන ඒමට නියමිතය. ඉතිරි තිදෙනා සෙවීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක වේ.
ජෝර්ජියා දේශ සීමාවට ආසන්නව පිහිටි මීටර් 5,642ක් උසැති එල්බ්‍රස් කන්ද හදිසි කාලගුණ වෙනස්වීම් සහ දුෂ්කර තත්ත්වයන් සඳහා කුප්‍රකට ස්ථානයකි. බොස්නියානු මාධ්‍ය වාර්තා කර ඇත්තේ මෙම කණ්ඩායමට සෙනිකා නගරයේ පදිංචිකරුවන් පස් දෙනෙකු ඇතුළත් බවයි.














