ඉකුත් ජුලි 19 වැනිදා දෙහිවල ගල්කිස්ස නිසල සෙවන පොදු සුසාන භූමියේ මුරකරුට වෙඩිතැබීමේ සිද්ධියේ පැදිකරු ලෙස කටයුතු කළ තැනැත්තා දෙල්කඳ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට බස්නාහිර පළාත් දකුණ දිසා අපරාධ කොට්ඨාසය සමත්ව තිබේ.දෙහිවල ගල්කිස්ස පොදු සුසාන භූමියේ මුරකරු වශයෙන් කටයුතු කරන 56 හැවිරිදි සුමිත් රූපසේන නමැත්තා ඉලක්ක කරගනිමින් මෙම වෙඩිතැබීම සිදුව තිබූ අතර, එහිදී ඔහුගේ වම් අතට සහ පපු ප්‍රදේශයට තුවාල සිදුවීම හේතුවෙන් ඔහු කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරිණි. මුරකරුගේ පුත්‍රයා මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ අයෙකු බව පොලිසිය පවසයි.වෙඩි තැබීමෙන් සතියකට පසු යතුරුපැදියේ පැදිකරු වන අත්තිඩිය ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 7 යි මිලිග්‍රෑම් 200ක්ද සොයාගෙන ඇත.
ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ මෙම අපරාධය විදෙස්ගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු විසින් මෙහෙයවා ඇති බවය. අපරාධය සිදුකිරීම වෙනුවෙන් ඔහුට ලැබුණු රුපියල් ලක්ෂ 2ක මුදලින් ඉතිරි වූ රුපියල් 55,000ක් සමඟ සැකකරු භාවිත කළ ජංගම දුරකථන 3ක්ද පොලිසිය විසින් සොයාගනු ලැබූ අතර, බස්නාහිර පළාත් දකුණ දිසා අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදු කරයි.














