‘එල්නිනෝ’ දේශගුණික සංසිද්ධිය හේතුවෙන් ඉදිරි මාසවලදී දිවයිනේ ප්‍රදේශ රැසක උෂ්ණත්වය තවදුරටත් ඉහළ ගොස් වැසි තත්ත්වය අඩු විය හැකි බැවින්, ජලය සහ විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අජිත් විජේමාන්න මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටී. මෙම තත්ත්වය ලබන වසරේ මාර්තු – අප්‍රේල් දක්වා මාස 8ක් හෝ 10ක් පැවතිය හැකි අතර, එළඹෙන ඔක්තෝබර් සහ දෙසැම්බර් අතර කාලයේදී එය අතිප්‍රබල මට්ටමකට වර්ධනය විය හැකි බව ඒ මහතා පෙන්වා දෙයි. මේ වන විටත් ත්‍රිකුණාමලය, වවුනියාව, මුලතිව් සහ මඩකලපුව ප්‍රදේශවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 35 සීමාව ඉක්මවා ඉතා ඉහළ අගයක පවතින බැවින්, දැඩි සූර්ය රශ්මිය පවතින දහවල් 2.00 ත් සවස 4.00 ත් අතර කාලය තුළ එළිමහන් වැඩබිම්වල රැඳී සිටීමෙන් වැළකෙන ලෙසත්, කුඩා ළමුන් සහ බෝ නොවන රෝගවලින් පෙළෙන්නන් එළිමහනට නිරාවරණය කිරීම සීමා කරන ලෙසත් දැඩි ලෙස දැනුම් දී ඇත.
කාලගුණ අනාවැකිවලට අනුව සබරගමුව, බස්නාහිර, වයඹ පළාත්වල සහ ගාල්ල, මාතර, මහනුවර, නුවරඑළිය දිස්ත්‍රික්කවල ඉදිරි දිනවල වැසි තත්ත්වයේ සුළු වර්ධනයක් (විශේෂයෙන් ජූලි 29 දින) බලාපොරොත්තු විය හැකි වුවද, උතුරු, උතුරු මැද, නැඟෙනහිර පළාත් සහ හම්බන්තොට දිස්ත්‍රික්කය ඇතුළු ප්‍රදේශවල වැසි රහිත දැඩි රස්නයක් පවතිනු ඇත. සැප්තැම්බර් අග සහ ඔක්තෝබර් මාසවලදී වැව්වල ජල මට්ටම ඉහළ යා හැකි නමුත්, ලබන වසරේ මුල් කාර්තුව සඳහා එම ජලය නිසි ලෙස කළමනාකරණය කරගත යුතු බවට අධ්‍යක්ෂ ජනරාල්වරයා අවධාරණය කරයි. මීට අමතරව, ඔක්තෝබර්, නොවැම්බර් සහ දෙසැම්බර් මාසවලදී බෙංගාල බොක්ක ආශ්‍රිතව පීඩන අවපාත හෝ සුළි කුණාටු වැනි කැළඹිලි ස්වභාවයන් ඇති වුවහොත් සාමාන්‍යයට වඩා වැඩි තද වැසි ඇති විය හැකි බවද වැඩිදුරටත් සඳහන් වේ.














