රටේ ක්‍රිකට් ක්‍රීඩාවේ සංවර්ධනයට මුහුණ දීමට සිදුව ඇති අභියෝග සහ ක්‍රීඩාව ශක්තිමත් කිරීමේ පියවරයන් කෙරෙහි අවධානය යොමු කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් (SLC) පරිවර්තන කමිටුව සමඟ අද (27) ජනාධිපති ලේකම් කාර්යාලයේදී සාකච්ඡාවක් පවත්වන ලදී.
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රගතියට බාධා වන ගැටලු කෙරෙහි මෙහිදී විශේෂ අවධානය යොමු වූ අතර, ක්‍රීඩාවේ අඛණ්ඩ දියුණුව පහසු කිරීම සඳහා රජයට ලබා දිය හැකි සහයෝගය සහ දායකත්වය පිළිබඳවද ජනාධිපතිවරයා සාකච්ඡා කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේය.
පවතින අභියෝගවලට මුහුණ දීම සඳහා උපාය මාර්ග හඳුනා ගැනීම සහ ඉදිරියේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව නංවාලීම මෙම සාකච්ඡාවේ ප්‍රධාන අරමුණ විය.
මෙම හමුව සඳහා යෞවන කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ සහ ජනාධිපති ප්‍රධාන කාර්ය මණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති යන මහත්වරුන් සහභාගී වූහ.
ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුවේ සභාපති එරාන් වික්‍රමරත්න මහතා ඇතුළු කමිටු සාමාජිකයින් වන රොෂාන් මහනාමා, අවන්ති කොළඹගේ, උපුල් කුමාරපෙරුම, තුෂිර රාඩෙල්ල, සිදත් වෙත්තමුනි සහ ඩිනාල් පිලිප් යන මහත්වරුන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.














