දෙවිනුවර උත්පලවණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ කාවඩි නර්තනය සම්බන්ධයෙන් මතුව තිබූ ගැටලුකාරී තත්ත්වයට විසඳුම් ලබා දෙමින්, පසුගිය වසරේ පෙරහැරට එක්වූ කාවඩි නර්තන කණ්ඩායම් 45ටම මෙවරද පෙරහැර සඳහා සහභාගි වීමට අවසර දීමට තීරණය කර තිබේ. අද (27) පස්වරුවේ මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල විසින් මේ බව සඳහන් කර ඇත.
පෙරහැරේ ආරක්ෂාව සහ විනය සම්බන්ධයෙන් පසුගිය දිනවල මතුවූ නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් කාවඩි නර්තන අංගය ඉවත් කිරීමට පොලිසිය නිර්දේශ කර තිබුණද, මෙම විශේෂ හමුවේදී සියලු පාර්ශ්වයන්ගේ එකඟතාවයෙන් පෙරහැරේ සම්ප්‍රදායික නර්තනාංග සඳහා මෙලෙස අවස්ථාව ලබාදීමට පියවර ගෙන ඇත. මෙම අවස්ථාවට මහජන ආරක්ෂක අමාත්‍යවරයාට අමතරව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය, මාතර දිසාපති චන්දන තිලකරත්න සහ දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් ඇතුළු නිලධාරීන් පිරිසක්ද සහභාගී වී තිබේ.














