පසුගිය ජූනි අග භාගයේ ආරම්භ වූ බලවත් මෝසම් වර්ෂාව සහ ගංවතුර තත්ත්වය හේතුවෙන් පාකිස්තානය පුරා පුද්ගලයන් 107 දෙනෙකු මියගොස් තවත් 344 දෙනෙකු තුවාල ලබා ඇති බව එරට ජාතික ආපදා කළමනාකරණ අධිකාරිය (NDMA) තහවුරු කරයි.
ප්‍රහාරාත්මක ලෙස ඇදහැලුණු අධික වර්ෂාව නිසා සිදුවූ නිවාස සහ වහල කඩාවැටීම්වලින් වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වන අතර, කයිබර් පක්තුන්ක්වා (Khyber Pakhtunkhwa) ප්‍රදේශයෙන් මරණ 55ක් සහ පන්ජාබ් (Punjab) ප්‍රදේශයෙන් මරණ 36ක් ලෙස වැඩිම හානි සිදුව තිබේ. පන්ජාබ් ප්‍රදේශයේ ලාහෝර් ඇතුළු නගර රැසක වර්ග කිලෝමීටර 400කට ආසන්න භූමි ප්‍රමාණයක් ජලයෙන් යටවී ඇති අතර, ඉදිරි දිනවලදී නැවතත් ප්‍රබල වර්ෂාපතනයක් අපේක්ෂා කරන බැවින් අවදානම් ප්‍රදේශවල ජනතාව ඉවත් කිරීමට සහ සහන කඳවුරු පිහිටුවීමට බලධාරීන් පියවර ගෙන ඇත. මෙම මෝසම් කාලගුණ තත්ත්වය සැප්තැම්බර් මාසය දක්වා පවතිනු ඇතැයි ගණන් බලා තිබේ.
තොරතුරු උපුටා ගැනීම: Al jazeera ඇසුරින්














