නව ලොවට ගැළපෙන නීති පද්ධතියක් සහ ප්‍රතිපත්තිමය වෙනසක් නොමැති වීම නිසා දේශීය පේෂ කර්මාන්ත ක්ෂේත්‍රය බරපතළ කඩාවැටීමකට ලක්ව ඇති බව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී (කෝපා) අනාවරණය වී තිබේ. කෝපා සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති රැස්වීමකදී මෙම කරුණු හෙළි විය.
මෙහිදී අනාවරණය වූයේ පේෂ කර්මාන්ත පුහුණු පාසල්වල පාඨමාලා සඳහා සහභාගී වන සිසුන් සංඛ්‍යාව දැඩි ලෙස පහත වැටී ඇති බවත්, එක් සිසුවෙකුගේ පුහුණුව සඳහා විශාල මුදලක් වැය කළද ඔවුන් ක්ෂේත්‍රයේ රැඳී නොසිටින බවත්ය. එමෙන්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ඇතුළු විධායක ශ්‍රේණියේ තනතුරු රැසක් පුරප්පාඩුව පැවතීම, අතීතයේ අක්‍රමවත් ලෙස මිලදී ගත් රෙදි වියන යන්ත්‍ර ගබඩාවල දිරාපත්වීම වැනි ගැටලු රැසක් මෙහිදී සාකච්ඡා විය. නූතන ෆැෂන් ඩිසයිනිං සහ නව තාක්ෂණය සමඟ ක්ෂේත්‍රය යාවත්කාලීන නොකළහොත් තරුණ පරපුර මෙම ක්ෂේත්‍රයට ආකර්ෂණය කරගැනීමට නොහැකි වන බව කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය මෙහිදී පෙන්වා දුන්නාය.














