තමා අතින් ගැබ් ගත් වයස අවුරුදු 16 ට අඩු ශ්‍රී ලාංකික තරුණියකගේ දරු කලලය නීති විරෝධී ලෙස ගබ්සා කළ ප්‍රංශ ජාතිකයකුට යාපනය මහාධිකරණය විසින් පසුගිය 24 වැනි දින වසර 30 ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් නියම කර තිබේ.
අදාළ තරුණිය සමඟ ප්‍රේම සම්බන්ධයක් පවත්වා ගෙන ගොස් ඇය ගැබිනියක් වීමෙන් පසුව නීති විරෝධී ගබ්සා මධ්‍යස්ථානයකට රැගෙන ගොස් ගබ්සාව සිදු කර ඇති මෙම සැකකරු, තරුණියටද නොදන්වා ආපසු ප්‍රංශයට පලා ගොස් සැඟවී සිට ඇත. ඔහුට එරෙහිව ගොනු කළ නඩුව විත්තිකරු නොමැතිව විභාග කොට චෝදනා තුනටම වරදකරු බව ඔප්පු කර ඇති අතර, නඩු තීන්දුව ලබාදීමෙන් පසුව ආගමන විගමන දෙපාර්තමේන්තුවේ හා ප්‍රංශ තානාපති කාර්යාලයේ සහය මත ඔහු අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස මහාධිකරණ විනිසුරුවරයා නියෝග කර ඇත. එපමණක් නොව, අදාළ ප්‍රංශ ජාතිකයා ආපසු ශ්‍රී ලංකාවට රැගෙන විත් වින්දිත දැරිය විවාහ කොට දීමට හෝ ඇයට විශාල මුදලක් වන්දි වශයෙන් අය කර දීමට අවශ්‍ය මීළඟ පියවර ගන්නා ලෙසද නිලධාරීන්ට නියෝග කර තිබේ.














