රාජ්‍ය ආයතනවල පරිපාලනමය ගැටලු, කාර්යක්ෂමතාව සහ මූල්‍යමය විනය සම්බන්ධයෙන් විමසා බැලීමේ ප්‍රතිපත්තියට අනුව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර කාරක සභාව හෙවත් කෝප් කමිටුව (COPE) හමුවට පසුගිය ජූලි 22 වැනි දින පේරාදෙණිය විශ්වවිද්‍යාලය කැඳවා තිබුණද, එම විශ්වවිද්‍යාලය විසින් කරන ලද ඉල්ලීමට අවසර ලබා දෙමින් ඒ සඳහා කල් ලබා දීමට කෝප් කමිටුව කටයුතු කර තිබුණි.
ඒ අනුව සති දෙකක කල් ලබා දීමකින් අනතුරුව අගෝස්තු මස 05 වන බදාදා දින නැවත පේරාදෙණිය විශ්වවිද්‍යාලය කෝප් කමිටුව හමුවට කැඳවීමට එම කමිටුව විසින් මේ වන විට දින ලබා දී තිබෙන බව වාර්තා වේ.
පේරාදෙණිය විශ්වවිද්‍යාලය සඳහා කෝප් කමිටු සමාලෝචනයක් අවසන් වරට පවත්වා තිබෙන්නේ 2023 වසරේ අගෝස්තු මාසයේදීය. ඒ අනුව වසර තුනකට ආසන්න කාලයක් පේරාදෙණිය සම්බන්ධයෙන් කෝප් සමාලෝචනයක් පවත්වා නැත.
2023 වසරේ කෝප් කමිටුව විසින් ලබා දුන් නිර්දේශවලින් බහුතරයක් ක්‍රියාත්මක කිරීමට පේරාදෙණිය බලධාරීන් තවමත් අපොහොසත් වී තිබෙන බැවින්, මෙවර සමාලෝචනයේදී ඒ පිළිබඳව අවධානය යොමු කෙරෙනු ඇතැයි විශ්වවිද්‍යාල ප්‍රජාව අපේක්ෂා කරයි.














