විශේෂ අනාවරණයක් ජාත්‍යන්තර වරාය තුළ වසර ගණනාවක් පුරා සිරවී තිබෙන වාහන තොගයක් පිළිබඳව පුදුමයට කරුණු අනාවරණය කරමින් වරාය කළමනාකාරිත්වය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. මෙරට වාහන ආනයන ඉතිහාසය සහ වරායේ මෙහෙයුම් කටයුතු පිළිබඳව දැඩි කතාබහක් නිර්මාණය කරමින් මෙම ආන්දෝලනාත්මක තොරතුරු එළියට පැමිණ තිබීම විශේෂත්වයක්.
හම්බන්තොට වරාය සමූහය (HIPG) පෙන්වා දී ඇත්තේ වරාය තුළ දැනට වාහන 50,000කට අධික ප්‍රමාණයකට පහසුකම් සපයා ඇති නමුත්, ඉන් වාහන 1,278ක් මාස තුනකට වැඩි කාලයක් තිස්සේ අංගනයේම රැඳී පවතින බවයි. විශේෂයෙන්ම, වසරකට වැඩි කාලයක් තිස්සේ වරායේ කොටුවී ඇති වාහන 581න් 400ක්ම 2025 වසරේ වාහන ආනයනය යළි ඇරඹීමට පෙර ගෙන්වන ලද ඒවා වීම කාගේත් අවධානය දිනාගත් කරුණක් වී තිබෙනවා.
මෙම තත්ත්වය තවත් උග්‍ර කරමින්, වාහන 175ක් 2020 ආනයන සීමා පැනවීමට පෙර ගෙන්වූ ඒවා වන අතර, වඩාත් මවිතයට කරුණ වන්නේ වාහන 178ක් 2017 දෙසැම්බර් මාසයේදී වරාය කළමනාකාරිත්වය HIPG යටතට පත්වීමටත් පෙර සිටම අද වන තුරුත් වරාය තුළම පැවතීමයි. ලියකියවිලි දෝෂ, බැංකු ක්‍රියා පටිපාටි සහ මූල්‍ය ගැටලු හේතුවෙන් මෙම ප්‍රමාදයන් සිදුවී ඇති බවයි වරාය බලධාරීන් පෙන්වා දෙන්නේ.
වරායක් යනු දීර්ඝකාලීනව වාහන ගාල් කර තබන ස්ථානයක් නොවන බවත්, මෙවැනි වාහන නිසා නව භාණ්ඩ හැසිරවීමට ඇති ඉඩකඩ සීමා වන බවත් බලධාරීන් දැඩිව අවධාරණය කර සිටිනවා. කෙසේ වෙතත්, පාරිභෝගිකයින්ට සහන සැලසීම සඳහා දින 10ක නොමිලේ ගබඩා පහසුකම් ලබා දී ඇති අතර, අර්බුදකාරී අවස්ථාවලදී පවා ප්‍රමාද ගාස්තු සඳහා සහන ලබා දීමට කටයුතු කළ බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
වසර ගණනාවක් තිස්සේ වරාය තුළමිරඳවා ඇති මෙම පැරණි වාහන සම්බන්ධයෙන් ඉදිරියේදී ගන්නා ක්‍රියාමාර්ග මොනවාද යන්න පිළිබඳව දැන් සමාජය තුළ විශාල කුතුහලයක් මතු වී තිබෙනවා.














