ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ පවතින විනිසුරු පුරප්පාඩු පිරවීමට පියවර නොගැනීම මඟින් ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතා පවසයි. දෙරණ ‘360’ වැඩසටහනට එක්වෙමින් ඒ මහතා අවධාරණය කළේ, අධිකරණ පද්ධතියේ ඉහළම තනතුරුවල පුරප්පාඩු පවතිද්දී ඒවා පිරවීමට කටයුතු නොකර විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට රජය උත්සාහ කිරීම දූෂිත ක්‍රියාවක් බවයි.
මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණයේ පුරප්පාඩු 4ක් සහ අභියාචනාධිකරණයේ පුරප්පාඩු 4ක් වශයෙන් සමස්ත පුරප්පාඩු 8ක් පවතින බව පෙන්වා දුන් සභාපතිවරයා, වසරකට ආසන්න කාලයක් තිස්සේ මෙම තනතුරු සඳහා පත්කිරීම් සිදු නොකිරීම බරපතළ ගැටලුවක් බව සඳහන් කළේය. ව්‍යවස්ථාවට අනුව මෙම පත්කිරීම් සිදුකිරීම ජනාධිපතිවරයාගේ වගකීමක් වුවද, එම වගකීම පැහැර හරිමින් විශ්‍රාම වයස වැඩිකිරීමට පනත් ගෙන ඒම අධිකරණයේ ස්වාධීනත්වයට එල්ල කරන බලපෑමක් බව පැවසූ අමරසූරිය මහතා, මේ සම්බන්ධයෙන් පසුගිය මාර්තු මාසයේදී අධිකරණ අමාත්‍යවරයාටත්, මැයි මාසයේදී ජනාධිපතිවරයාටත් ලිඛිතව කරුණු ඉදිරිපත් කළද මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් ලැබී නැති බවද අනාවරණය කළේය.














