පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පාලක සභාව 2015 නොවැම්බර් 28 වන දින සිට බලපැවැත්වෙන පරිදි ප්‍රධාන ආරක්ෂක නිලධාරීවරයාගේ සේවය අවසන් කිරීමට තීරණය කිරීමේදී ඒ සඳහා පදනම් කරගෙන තිබුණ ප්‍රධාන සාධකය වන්නේ, ත්‍රිපුද්ගල විමර්ශන කමිටුව ඉදිරිපත් කළ වාර්තාව මගින් ඔහු සියලු චෝදනාවලට වැරදිකරු බව තීරණය කර තිබීමයි. එහිදී මෙම ත්‍රිපුද්ගල තොරතුරු සොයා බැලීමේ කමිටුව (Fact-Finding Committee) සිදු කර තිබෙන්නේ මූලික විමර්ශනයක් පමණක් බව ඔවුන්ට අමතක වී තිබිණි.
ප්‍රධාන ආරක්ෂක නිලධාරීවරයා මෙම නීතියට පටහැනි තීරණයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරනු ලැබීය. 2016 වසර ආරම්භයේදී ගොනු කළ මෙම පෙත්සමෙහි මූලික පදනම වූයේ, වගඋත්තරකරුවන්ගේ ස්වාභාවික යුක්තියට පටහැනි ක්‍රියාකලාපය හේතුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) සහ 14(1) ව්‍යවස්ථාවන් මගින් සහතික කර තිබෙන මූලික අයිතිවාසිකම් කඩවී තිබෙන බවට තීන්දුවක් ලබා ගැනීමයි.
දීර්ඝ නඩු විභාගයකින් පසුව 2021 නොවැම්බර් 11 වන දිනැතිව විෂයගත නඩුවට අදාළ නියෝගය ප්‍රකාශයට පත් කළ ශ්‍රේෂ්ඨාධිකරණය, වගඋත්තරකරුවන් විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) ව්‍යවස්ථාව මගින් සහතික කර තිබෙන මූලික අයිතිවාසිකම කඩ කර තිබෙන බවට තීන්දු කර තිබුණි. ඒ අනුව පෙත්සම්කාර ප්‍රධාන ආරක්ෂක නිලධාරීවරයාගේ සේවය අවසන් කිරීමට වගඋත්තරකරුවන් විසින් ගෙන තිබූ තීරණය “අනීතික සහ නීතිය ඉදිරියේ කිසිදු වලංගුභාවයක් නොමැති ක්‍රියාවක්” (Null and Void) බවද ප්‍රකාශයට පත් කරමින්, එම සේවය අවසන් කිරීමේ ලිපිය බලශූන්‍ය කිරීමටද කටයුතු කර තිබුණි.
ප්‍රධාන ආරක්ෂක නිලධාරීවරයාට එරෙහිව එල්ල කර තිබූ චෝදනා සම්බන්ධයෙන් වඩාත්ම සුදුසු ක්‍රියාමාර්ග (Appropriate action) ගැනීමට වගඋත්තරකරුවන් වෙත බාධාවක් නොමැති බවද මෙම මූලික අයිතිවාසිකම් නඩු තීන්දුවෙහිම සඳහන් කර තිබුණි.
ඒ අනුව ප්‍රධාන ආරක්ෂක නිලධාරීවරයාගේ සේවය 2022 ජනවාරි 01 වන දින සිට නැවත සක්‍රීය තත්ත්වයට පත් කිරීමට පේරාදෙණිය විශ්වවිද්‍යාලය කටයුතු කර තිබූ අතර, සේවය අවසන් කළ දිනය වූ 2015 නොවැම්බර් 28 වන දින සිට 2021 දෙසැම්බර් 31 වන දින දක්වා වන වසර 7කට ආසන්න කාලයක් සඳහා ඔහුට සියලු වැටුප් සහ දීමනා ගෙවීමටද පේරාදෙණිය විශ්වවිද්‍යාලය විසින් කටයුතු කර තිබුණි. මෙසේ ගෙවා ඇති මුළු මුදල රුපියල් පනස් පන් ලක්ෂ හැට නවදහස් පන්සිය හැත්තෑ දෙකකුත් ශත හැත්තෑ අටකි (රු. 5,569,572.78).
– මතු සම්බන්ධයි














