වංචා සහ දූෂණයෙන් තොර, ජනතාවට කාර්යක්ෂම සහ ගුණාත්මක සේවාවක් ලබා දෙන ආදර්ශවත් රාජ්‍ය සේවයක් නිර්මාණය කිරීමේ අරමුණින් ක්‍රියාත්මක වන “සුපිළිපන් සතියේ” දෙවන දිනයට සමගාමීව විශේෂ ජනතා පාගමනක් අද (28) උදෑසන රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ඉදිරිපිටින් ආරම්භ විය. මූල්‍ය, ඩිජිටල්, ව්‍යවසායකත්ව හා තාක්ෂණික සුපිළිපන් බව ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් වෙන් කර ඇති අද දිනට අදාළව, රාජ්‍ය නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් විහාරමහා දේවි උද්‍යානය දක්වා මෙම පාගමන ගමන් කළ අතර, ඊට සමාන්තරව අම්පාර නගරයේදී ද ත්‍රිවිධ හමුදාව, පොලීසිය සහ රාජ්‍ය අංශයේ නිලධාරීන් එක් වූ ප්‍රධාන පාගමනක් සංවිධානය කර තිබිණි.
මෙම ජාතික වැඩසටහනට සමගාමීව “ක්ලීන් ශ්‍රී ලංකා” තේමාව යටතේ ක්‍රියාත්මක ‘V – ප්‍රමිති’ ජාතික වැඩසටහන ද අද පිටකොටුව ප්‍රදේශයෙන් ආරම්භ වූ අතර, පාරිභෝගික සුරක්ෂිතතාව තහවුරු කිරීම එහි ප්‍රධාන අරමුණ වී ඇත. ඒ යටතේ වෙළඳපොළ තුළ අලෙවි වන වීදි ආහාර, පොල්තෙල්, සෙල්ලම් බඩු, හකුරු, පැණි වර්ග, රූපලාවණ්‍ය ද්‍රව්‍ය සහ විදුලි උපකරණවල ප්‍රමිතිය විමසා බැලීම සඳහා වෙළඳසැල්වලින් සාම්පල ලබා ගැනීම සිදු කෙරිණි. ප්‍රමිතියෙන් තොර භාණ්ඩ වෙළඳපොළ තුළ සංසරණය වීම වැළැක්වීම සහ පාරිභෝගික අයිතීන් සුරක්ෂිත කිරීම මඟින් රට තුළ සැබෑ සුපිළිපන් සංස්කෘතියක් ගොඩනැගීමට මෙම බිම් මට්ටමේ ක්‍රියාමාර්ග සෘජුවම දායක වනු ඇත.රාජ්‍ය අංශයේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම මෙන්ම පාරිභෝගික ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ගන්නා මෙම පියවරයන් හුදෙක් සංකේතාත්මක වැඩසටහන්වලට සීමා නොවී, අඛණ්ඩව ක්‍රියාත්මක වීම රටේ මූල්‍ය හා ආර්ථික විනය තහවුරු කිරීමට මහෝපකාරී වනු ඇත. වංචා සහ දූෂණවලින් තොර විනිවිදභාවයකින් යුත් පද්ධතියක් කරා ගමන් කිරීම සඳහා රාජ්‍ය යාන්ත්‍රණය මෙන්ම මහජනතාව ද එකම අරමුණක පිහිටා කටයුතු කිරීම වත්මන් ආර්ථික හා සමාජීය අභියෝග ජය ගැනීමට අත්‍යවශ්‍ය සාධකයකි.














