ශ්‍රේෂ්ඨ කලාවකට ජාතියක්, ආගමක් හෝ භාෂාවක් නැති බවත්, කලාවේ සැබෑ භාෂාව මනුෂ්‍යත්වය සහ එකමුතුකම බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ප්‍රකාශ කළාය. අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළේ දශක හතකට වැඩි කාලයක් පුරා මෙරට සංගීත ක්ෂේත්‍රය සහ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව වෙනුවෙන් අමතක නොවන මෙහෙවරක් ඉටු කළ ප්‍රවීණ ගායනවේදිනී ආචාර්ය සුජාතා අත්තනායක මහත්මිය වෙත උත්තමාචාර පුද කිරීම සඳහා ගුවන් විදුලි සංස්ථාවේ කුමාරතුංග මුනිදාස මැදිරියේදී පැවති විශේෂ උපහාර ප්‍රණාම උළෙල අමතමිනි.
ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව විසින් සංවිධානය කරන ලද මෙම “ආචාර්ය සුජාතා අත්තනායක ප්‍රණාම” උළෙලේදී, වයස අවුරුදු අටක දැරියකව සිටියදී ඇරඹුණු ආචාර්ය සුජාතා අත්තනායක මහත්මියගේ කලා දිවිය පරම්පරා ගණනාවක අමරණීය ආදරය දිනාගත් අද්විතීය ගමනක් බව අග්‍රාමාත්‍යවරිය සිහිපත් කළාය. මීට අමතරව, මෙරට සංගීත ක්ෂේත්‍රයට ඇය ලබා දුන් අනභිභවනීය දායකත්වය අගයමින් ගුවන්විදුලි සංස්ථාව තුළ එතුමියගේ ඡායාරූපයක් විවෘත කිරීමේ විශේෂ අවස්ථාවටද අග්‍රාමාත්‍යවරිය එක් විය. මෙරට කලාකරුවන්ගේ අමිල සේවය අබියස ඔවුන් ජීවත්ව සිටියදීම මෙවැනි ගෞරවාචාර පුද කිරීම කලාකරුවාට පමණක් නොව සමස්ත ජාතියටම ලැබෙන මහත් අභිමානයකි.














