2023 වර්ෂයේ පැවැති කෝප් කමිටු සමාලෝචන රැස්වීමකදී එවකට කෝප් කමිටු සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා මෙම විෂයගත නිෂ්කාර්ය වැය සම්බන්ධ සාකච්ඡා වේදී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ, නීති නිලධාරී, රසිකා වික‍්‍රමසිංහගෙන් ප‍්‍රශ්න කර සිටියේ මෙවැනි අදූරදර්ශී තීරණ සම්බන්ධයෙන් නීති නිලධාරිනිය ලෙස, පාලක සභාවට, නිසි නීති උපදෙස් ලබානොදුන්නේ මන්ද යන්නය.
එම අවස්ථාවේදී රසිකා වික‍්‍රමසිංහ ප‍්‍රකාශ කර සිටියේ ප‍්‍රධාන ආරක්‍ෂක නිලධාරීවරයා විසින් ඉදිරිපත් කර තිබුන මූලික විරෝධතාවය සම්බන්ධයෙන් “තමන් කිසිවක් නොදැන සිටි බවය.” එසේම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පාලක සභාවටද ඇය ප‍්‍රකාර කර ඇති බව කියන්නේ අදාල මූලික විරෝධතාවය සම්බන්ධයෙන් තමන් කිසිවක් නොදැන සිටි බවය.
මෙම ස්ථාවරය සම්පූර්ණයෙන්ම ඇගේ වෘත්තීයභාවයට නොගැලපෙන වංක සහ අදාල ගරු කටයුතු ආයතන නොමග යවන සුළු ක‍්‍රියාවන් බව සාක්‍ෂි සහිතව හෙලිදරව් කිරීමට අපට හැකියාව ලැබී තිබේ.
සාමාන්‍යයෙන් විනය ක‍්‍රියාමාර්ගයන්හී, මූලික විමර්ශන සදහා “කැදවුම්කරුවන්” පත්කිරීමේ පිලිවෙතක් නැත.විශ්වවිද්‍යාල ආයතන සංග‍්‍රහය මගින් එවැනි ක‍්‍රමවේදයක් සදහා මාර්ගෝපදේශ සලසා ඇත්තේද නැත.එසේ වුවත් ප‍්‍රධාන ආරක්‍ෂක නිලධාරීවරයාට එරෙහිව කැදවන ලද, නීතීඥ ලාල් විජේනායකගේ සභාපතිත්වයෙන් යුතු, ත‍්‍රිපුද්ගල විමර්ශන මණ්ඩලය සදහා “කැදවුම්කාරිය” ලෙස පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නීති නිලධාරී රසිකා වික‍්‍රමසිංහ පෙනී සිට තිබේ.
මෙම මූලික විමර්ශනයට අදාල නිල ලිපි ලේඛන බොහොමයක ඇය සිය අත්සන තබා සහතික කර තිබෙන්නේ “ජ්‍යෙෂ්ඨ සහකාර ලේඛකාධිකාරී /නීති හා ලේඛන (කමිටු කැදවුම්කරු)” ලෙසිනි.මෙම “ලොවෙත් නැති” තනතුර තමන් විසින්ම දරන ලද තැනැත්තිය දැන් ඒ පිළිබදව කිසිවක් නොදන්නා බව පැවසීම ”බබා පාට්” දැමීමක් මිස වෙන යමක් නොවේ.
ප‍්‍රධාන ආරක්‍ෂක නිලධාරීවරයා 2015-09-30 දිනැතිව ත‍්‍රිපුද්ගල කමිටුව හමුවේ සිය ප‍්‍රකාශය ලබාදෙන අවස්ථාවේදී චෝදනාවන්ට අදාල ලේඛන තිබේනම් තමා වෙත ඉදිරිපත් කරන ලෙසට අදාල විමර්ශන කමිටුවෙන් ඉල්ලා සිට ඇත.එකී ලේඛන “එම අවස්ථාව වන විටත්” විමර්ශණ කමිටුව හමුවට ඉදිරිපත්ව නොතිබුන බැවින් විෂයගත ලේඛන පසුව නීති අංශයෙන් පරීක්‍ෂා කල හැකි බව විමර්ශන කමිටු සභාපති විජේනායක ඔහුට දන්වා ඇත.
ඒ අනුව 2015-10-15 වන දින අදාල ලේඛන පරික්‍ෂා කිරීම ඔහු විසින් සිදුකර තිබෙන අතර එහිදී දැන ගැනීමට හැකිව තිබෙන්නේ චෝදනාවන්ට අදාල නොවන සහ සැකකටයුතු ලේඛන කිහිපයක් ගොනුවට එකතු කර තිබෙන බවය.ඒ අනුව පසුදිනම එනම් 2015-10-16 දින ලිඛිත ඉල්ලීමක් සිදුකරමින් විමර්ශන කමිටුව හමුවේ නැවත ප‍්‍රකාශයක් ලබාදීමට ප‍්‍රධාන ආරක්‍ෂක නිලධාරීවරයා අවසර ඉල්ලා සිට තිබේ.කෙසේ වෙතත් ජ්‍යෙෂ්ඨ සහකාර ලේඛකාධිකාරී /නීති හා ලේඛන (කමිටු කැදවුම්කරු) වන රසිකා වික‍්‍රමසිංහ 2015-10-16 දිනැති සිය ලිපිය මගින් දන්වා ඇත්තේ 2015-10-27 වන දිනට පෙර කියා පෑමට ඇති කරුණු ලිඛිතව ගොනු කිරීමට කටයුතු කරන ලෙසය.
ඒ අනුව ප‍්‍රධාන ආරක්‍ෂක නිලධාරීවරයා 2015 ඔක්තෝම්බර් 25 දිනැතිව පිටු 14 කින් යුක්ත ලිඛිත දේශනයක් ගොනුකර තිබේ. මෙම ලිඛිත දේශනය මගින් ආමන්ත‍්‍රණය කර තිබෙන්නේම “නීති නිළධාරිනී(කමිටු කැදවුම්කරු) මගින් විශ්වවිද්‍යාල පාලක සභාව විසින් පත් කරන ලද කරුණු සොයා බැලීමේ කමිටුව වෙත” ලෙසිනි. එම ලිපියෙහි මාතෘකාව ලෙස දක්වා තිබෙන්නේ “විශ්වවිද්‍යාල පාලක සභාව විසින් පත් කරණ ලද කරුණු සොයා බැලීමේ කමිටුවෙහි නීත්‍යාණුකූල භාවය පිළිබද මූලික විරෝධතාවය.” යන්නය.
මෙම ලිඛිත දේශනය කමිටු සාමාජිකයන් තිදෙනාට පිටපත් තුනක් සහ කැදවුම්කාරිනියට පිටපතක් වශයෙන් පිටපත් හතරකින් යුතුව භාරදී තිබේ.ඒ අනුව පැහැදිලි වන්නේ රසිකා වික‍්‍රමසිංහ අදාල මූලික විරෝධතාවය පිලිබදව තමන් කිසිවක් නොදැන සිටි බව ප‍්‍රකාශ කිරීම “ගල් පැලෙන බොරුවක්” බවය.
ඒ අනුව මෙම ලක්‍ෂ 56 නිෂ්කාර්ය වැය රසිකා වික‍්‍රමසිංහගෙන් අයකර ගැනීමෙන් නොනැවතී කෝප් කමිටුව සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය පාලක සභාව යන වගකිවයුතු ආයතන නොමග යැවීම සම්බන්ධයෙන්ද, තම රාජකාරී වගකීම් පැහැර හැරීම සම්බන්ධයෙන්ද, රසිකා වික‍්‍රමසිංහට එරෙහිව විනය පියවර ගැනීමට අදාල බලධාරීන් කටයුතු කල යුතුය.
– මතු සම්බන්ධයි














