පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආරක්ෂක අංශයේ සේවය කරන ආරක්ෂක නියාමකයෙකුට, ඔහුගේ බිරිඳගේ නමින් ආපනශාලා දෙකක් බදු දීම සම්බන්ධයෙන් තවත් බරපතළ තොරතුරු රැසක් හෙළිදරව් වී තිබේ. අදාළ බදු දීම නියමිත ටෙන්ඩර් පටිපාටියෙන් පිටත සිදුකර ඇති අතර, එය පවතින නීති සහ රෙගුලාසි සම්පූර්ණයෙන්ම උල්ලංඝනය කිරීමකි.
ශ්‍රී ලංකාවේ ආයතන සංග්‍රහය සහ දූෂණ විරෝධී පනතට අනුව රාජ්‍ය නිලධාරියෙකුට තමන් සේවය කරන ආයතනයේම දේපළ, සිය ආසන්නතම ඥාතීන් (Immediate Family) ලවා ව්‍යාපාරික කටයුතු සඳහා ලබාගැනීමට සෘජු හෝ වක්‍ර අවසරයක් නැත. බිරිඳගේ නමින් සිදු කළද, එය නිල තත්ත්වය සහ බලපෑම භාවිත කරමින් සිදුකරන වක්‍ර ව්‍යාපාරික නිරත වීමක් ලෙසත්, බරපතළ සම්බන්ධතා අතර ගැටුමක් (Conflict of Interest) ලෙසත් සැලකේ. එමෙන්ම රාජ්‍ය ප්‍රසම්පාදන මාර්ගෝපදේශ අනුව ටෙන්ඩර්කරුවන් සහ ආයතන සේවකයන් අතර ඇති පවුල් සබඳතා පිළිබඳ ප්‍රකාශ කිරීම අනිවාර්ය කර තිබුණද, මෙහිදී ටෙන්ඩර් මණ්ඩලයේ අපක්ෂපාතීත්වය දැඩි ලෙස ප්‍රශ්න කෙරේ. ආරක්ෂක නිලධාරියෙකුගේ ප්‍රධාන වගකීම ආයතනික දේපළ ආරක්ෂා කිරීම සහ නීති විරෝධී ක්‍රියා වැළැක්වීම වන පසුබිමක, බිරිඳ ආයතනය තුළම ව්‍යාපාරයක නිරත වීම හරහා සෞඛ්යාරක්ෂිතභාවය හෝ ගිවිසුම් කොන්දේසි පරීක්ෂා කිරීමට ඇති සදාචාරාත්මක හා නීතිමය අයිතිය අහිමි වේ.
මීට අමතරව, අදාළ ආරක්ෂක නියාමකයා සතියට දින තුනක් පමණක් සේවයේ යෙදෙන බවත්, සේවා මුරයේ සිටින දිනවල පවා අලුයම 5ට සේවා ස්ථානයෙන් බැහැරව ගොස් මහකන්ද ප්‍රදේශයේ පිහිටි නිවසින් බිරිඳ කැඳවාගෙන ඇවිත් ආපනශාලාව විවෘත කිරීමට කටයුතු කරන බවත් වාර්තා වේ. අනෙකුත් ආරක්ෂක නිලධාරීන් පෙන්වා දෙන්නේ මෙවැනි විශේෂ වරප්‍රසාදයක් ඔහුට පමණක් හිමිවීම අසාධාරණ බවයි.
එසේම ආපනශාලා බදු දීමේ කටයුතු භාර සාමාන්‍ය සේවා අංශයේ විෂය ලිපිකරු ඇතුළු නිලධාරීන්ට මෙන්ම, ගෙවීම් කටයුතු භාර මූල්‍ය අංශයේ ඉහළ නිලධාරීන්ටද නොමිලේ ආහාරපාන ලබා දෙමින් ඔවුන් තමන්ගේ “සාක්කුවට දමාගෙන” මෙම නීති විරෝධී ක්‍රියාව අඛණ්ඩව කරගෙන ගොස් ඇති බවට විශ්වවිද්‍යාල සේවකයෝ චෝදනා කරති. මෙම සිදුවීමේ සත්‍ය අසත්‍යතාව පරීක්ෂා කර බැලීම විගණන නිලධාරීන්ගේ වගකීමක් බවද ඔවුන් වැඩිදුරටත් අවධාරණය කරයි.














