කෙරළ වෙරළට ඔබ්බෙන් මුහුදුබත් වූ ‘MSC Elsa 3’ නෞකාවෙන් මුහුදට මුදා හැරී වෙරළට ගොඩගැසමින් පවතින ප්ලාස්ටික් කැටිති (Plastic pellets) බහාලුම් 43කට අධික ප්‍රමාණයක් මේ වන විට එකතු කර ඇති බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය (MEPA) පවසයි.
යාපන දිවයිනේ සිට ගාල්ල දක්වා වන වෙරළ තීරයට මෙම ප්ලාස්ටික් කැටිති දිගින් දිගටම ගොඩගැසෙමින් පවතින අතර, පවතින මෝසම් කාලගුණ තත්ත්වය හේතුවෙන් තත්ත්වය තවත් උග්‍ර වී තිබේ. මෙම ප්ලාස්ටික් කැටිති ඉවත් කිරීමේ කටයුතු සඳහා සේවකයින් 1800ක් පමණ යොදවා ඇති අතර, එහි සියලු වියදම් අදාළ නැව් සමාගම විසින් දරනු ලබයි. මීට අමතරව, නෞකාව ගිලී යාමෙන් සමුද්‍රීය පරිසරයට සිදුවූ හානිය සඳහා අය කළ යුතු වන්දි ප්‍රමාණය තක්සේරු කිරීමට නියමිත අතර, ඒ සඳහා පත් කරන ලද විශේෂඥ කමිටුව ද ඊයේ රැස්වූ බව MEPA සභාපති සමන්ත ගුණසේකර මහතා ප්‍රකාශ කළේය.














