උතුරු මැද පළාත් බැඩ්මින්ටන් තරගාවලියේ ඇතුළත්වීමේ ගාස්තු සහ ජයග්‍රාහකයන් වෙත ලබා දෙන මුදල් සම්බන්ධයෙන් දැනට ක්‍රීඩා අමාත්‍යාංශයේ විශේෂ විමර්ශන ඒකකයක් මඟින් පරීක්ෂණයක් සිදුකෙරෙමින් පවතින පසුබිමක, ශ්‍රී ලංකා බැඩ්මින්ටන් කමිටුවේ කිසිදු අනුමැතියකින් තොරව අනුරාධපුරයේ පැවැත්වීමට නියමිත තරගාවලිය සඳහා අමුතුම ආකාරයේ ගාස්තු ක්‍රමවේදයක් හඳුන්වා දී තිබීම දැඩි දෝෂදර්ශනයට ලක්ව තිබේ. එහිදී ප්‍රවීණයන්ගේ (Veteran) අංශයේ පිවිසුම් ගාස්තුව රුපියල් 6,000ක් ලෙසත්, විවෘත (Open) අංශයේ ගාස්තුව රුපියල් 7,000ක් සහ 8,000ක් ලෙසත් නම් කර ඇති අතර, මෙම අක්‍රමවත් ක්‍රමවේදය හරහා ක්‍රීඩකයන් දැඩි අපහසුතාවකට පත්ව ඇත.
ජාතික බැඩ්මින්ටන් සංචිතය භාර උප සභාපතිවරිය වන චන්ද්‍රිකා ද සිල්වා මහත්මිය විසින් මෙම ගාස්තු නියම කිරීම සම්පූර්ණයෙන්ම වැරදි සහගත ක්‍රියාවක් බව විවේචකයෝ පෙන්වා දෙති. ජාතික ක්‍රීඩා පුහුණු සංචිතය භාර උප සභාපතිනියක ලෙස සැබැවින්ම කළ යුත්තේ දැනට ක්‍රීඩාවේ නියැලී සිටින ජාතික ක්‍රීඩකයන් දිරිගැන්වීම වුවද, වැඩිම ගාස්තුවක් නියම කර ඇත්තේ ද ජාතික මට්ටමේ ක්‍රීඩකයන් වෙතය. චන්ද්‍රිකා ද සිල්වා මහත්මියද ප්‍රවීණයන්ගේ අංශයේ තරග සඳහා සහභාගී වන බැවින්, තමන්ට වාසිදායක වන අයුරින් එම අංශයේ ගාස්තු පහළ මට්ටමක පවත්වා ගැනීමට කටයුතු කර ඇතැයි බරපතළ චෝදනා එල්ල වී තිබේ. සත්‍ය වශයෙන්ම ගාස්තු අඩුවිය යුත්තේ වැඩිහිටි අංශවලට නොව, ආර්ථික අපහසුතා මැද ක්‍රීඩාවට පිවිසෙන පාසල් දරුවන්ගේ සහ යරුණු ඉසව්වල ඇතුළත්වීමේ ගාස්තු බව ක්‍රීඩා සමාජ සහ ක්‍රීඩා ලෝලීන් අවධාරණය කර සිටිති.
විමර්ශන ක්‍රියාත්මක වන වකවානුවක වගකිවයුතු නිලධාරීන් විසින් මෙලෙස පෞද්ගලික වාසි අරමුණු කරගනිමින් තීන්දු තීරණ ගැනීම හේතුවෙන් මෙරට බැඩ්මින්ටන් ක්‍රීඩාවේ අනාගතය බරපතළ අර්බුදයකට මුහුණ දී තිබේ. ක්‍රීඩකයන්ගේ මූල්‍යමය බර සැහැල්ලු කරමින් විනිවිදභාවයකින් යුතුව සහ නිසි අනුමැතිය යටතේ තරගාවලි සංවිධානය කිරීමට අදාළ බලධාරීන් කඩිනමින් මැදිහත් විය යුතු බවට දැඩි බලපෑම් එල්ල වෙමින් පවතී.














