ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ 2026 ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් මහා පෙරහර නැරඹීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (29) රාත්‍රියේ එක් විය.
පෙරහර නැරඹීමට එක්වීමට ප්‍රථම කිරිවෙහෙර රාජමහා විහාරය වෙත ගිය ජනාධිපතිවරයා, විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්ද හිමිපාණන්වහන්සේ බැහැදැක ආශීර්වාද ලබාගත් අතර, කිරිවෙහෙර අභියස පැවති ආගමික වතාවත්වලට සහභාගී වී හස්ති රාජයා මත සධාතුක කරඬුව තැන්පත් කිරීමේ අවස්ථාවටද එක් විය. මීට අමතරව, කිරිවෙහෙර පරිශ්‍රයේ විදුලි ආලෝකය විවෘත කිරීමද ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි.
පෙරහරින් අනතුරුව පැවති උත්සව සභාව අමතමින් ජනාධිපතිවරයා සඳහන් කළේ, සියලු ජන කොටස් එකම පුද බිමකට කැඳවන මෙම ඓතිහාසික අවස්ථාව අපේ රටේ ජාතික අනන්‍යතාව මෙන්ම ජාතික සමගිය මනාව පිළිබිඹු කරන්නක් බවයි. ලෝකය කොතරම් තාක්ෂණික හා විද්‍යාත්මක පරිවර්තනයන්ට ලක් වුවද, රටක සංවර්ධනය සහ ඉදිරි ගමන සාර්ථක වීමට නම් රටේ ඓතිහාසික, සංස්කෘතික පවුරු පදනම් ආරක්ෂා කර ගත යුතු බවත්, ජනතාවගේ ඓන්ද්‍රීය සබඳතාව පෙන්නුම් කරන එවැනි වැදගත් අවස්ථාවක් ලෙස කතරගම ඇසළ පෙරහර හැඳින්විය හැකි බවත් හෙතෙම වැඩිදුරටත් පෙන්වා දුන්නේය.














