තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ රතු නිවේදනයක් සැලකිල්ලට ගනිමින්, කන්කසන්තුරය සිට මන්නාරම හරහා කල්පිටිය දක්වා වන මුහුදු ප්‍රදේශවල සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතු සිදු කිරීම නැවත දැනුම්දෙන තුරු තහනම් කර ඇති බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව පවසයි.
අදාළ මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 60ත් 70ත් දක්වා වැඩි විය හැකි බැවින්, මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු විය හැකි බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා සඳහන් කළේය. මේ වන විටත් එම ප්‍රදේශවල මුහුදු ගොස් සිටින ධීවරයින්ට වහාම ආරක්ෂිතව ගොඩබිම වෙත පැමිණෙන ලෙසත්, ඉදිරියේදී නිකුත් කෙරෙන නියෝග පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන ලෙසත් ඒ මහතා වැඩිදුරටත් ඉල්ලා සිටියේය.














