රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ සහ රාජ්‍ය සේවා නවීකරණ වැඩපිළිවෙළ යටතේ, රාජ්‍ය සේවා ඩිජිටල්කරණය වේගවත් කරමින් නව කඩදාසි රහිත රේගු ප්‍රකාශන ක්‍රමවේදය (Paperless Customs Declaration Processing System) එළැඹෙන ඔක්තෝබර් 01 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා ප්‍රකාශ කර තිබේ.
කොළඹ SEMA ගොඩනැගිල්ලේ පිහිටි ශ්‍රවනාගාරයේදී පැවති ඩිජිටල් අත්සන සහ කඩදාසි රහිත රේගු ප්‍රකාශන ක්‍රමවේදය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනකදී මේ බව අනාවරණය කෙරිණි. LankaSign ඩිජිටල් අත්සන සහ ASYCUDA පද්ධතිය ඒකාබද්ධ කිරීම මඟින් නීත්‍යානුකූලව හා ආරක්ෂිතව සියලුම රේගු ලේඛන මාර්ගගතව ඉදිරිපත් කළ හැකි අතර, රේගු නිශ්කාෂණ ක්‍රියාවලිය වඩාත් වේගවත් හා විනිවිදභාවයෙන් යුතුව සිදු වේ. ඩිජිටල් අත්සන තැබීමෙන් පසු සිදු කෙරෙන වෙනස්කම් පද්ධතිය මඟින් ස්වයංක්‍රීයව හඳුනා ගන්නා බැවින් වංචා දූෂණ සඳහා ඇති ඉඩකඩ ඇහිරී යයි. වෙළෙඳ පරිමාව වර්ධනය වන පසුබිමක මෙම නව ඩිජිටල් ක්‍රමවේදය හඳුන්වාදීම හේතුවෙන් කිසිවෙකුගේ රැකියා අහිමි නොවන අතර, රේගු නිශ්කාෂණ නියෝජිතයන්ගේ රැකියා ආරක්ෂා වන බව ජනාධිපති ලේකම්වරයා මෙහිදී අවධාරණය කළේය.
මෙම අවස්ථාව සඳහා රේගු අධ්යක්ෂ ජනරාල් විමල් ලියනගම, ආදායම් පරිපාලන ප්‍රතිසංස්කරණ හා නවීකරණ කාර්යාංශයේ (RARMB) අධ්යක්ෂ ඩබ්ලිව්. එල්. සී. තිලකසිරි සහ LankaSign ආයතනයේ ජ්‍යෙෂ්ඨ කළමනාකරු නාලක විජේනායක යන මහත්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ ආනයන – අපනයන සමාගම් නියෝජිතයෝ පිරිසක් එක්ව සිටියහ.














