අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ඉහළ නැංවීමේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සමඟ ඉදිරියට යාමට කැබිනට් මණ්ඩලය ගත් තීරණය සම්බන්ධයෙන් ලංකා සභාව (Church of Ceylon) දැඩි කණස්සල්ල හා අප්‍රසාදය පළ කර තිබේ.
ශ්‍රී ලංකාවේ ඇංග්ලිකන් සභාව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, නීතියේ ආධිපත්‍යය සහ අධිකරණ ස්වාධීනත්වය කෙරෙහි ජනතා විශ්වාසය බිඳ වැටිය හැකි බවට ශ්‍රී ලංකා නීතිඥ සංගමය සහ සිවිල් සමාජය ඉදිරිපත් කළ දැඩි තර්ක ජනාධිපතිවරයා සහ කැබිනට් මණ්ඩලය විසින් සලකා බලනු ඇතැයි තමන් අපේක්ෂා කළ බවයි. නඩු කටයුතු කඩිනම් කිරීම සඳහා යැයි රජය පවසන හේතුව, පුරප්පාඩු වී ඇති අභියාචනාධිකරණ විනිසුරු ධුර සඳහා නිසි තාර්කික පැහැදිලි කිරීමකින් තොරව පත්වීම් ලබාදී නොමැති පසුබිමක් තුළ දුර්වල වන බවද එමඟින් පෙන්වා දී ඇත.
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම ඇතුළු පුළුල් ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සඳහා දිගින් දිගටම බලපෑම් කළද රජය ඒවා ඉටු කිරීමට අපොහොසත් වී ඇති බව පෙන්වා දෙන ලංකා සභාව, මැතිවරණ ව්‍යාපාරවලදී හෝ මෑත කාලීන ප්‍රතිසංස්කරණ සංවාදවලදී සාකච්ඡා නොවූ මෙවැනි සංශෝධනයක් ගෙන ඒම සදාචාරාත්මක නීත්‍යානුකූලභාවයෙන් තොර බව සඳහන් කරයි. එබැවින්, යෝජිත සංශෝධනය වහා ඉල්ලා අස්කරගන්නා ලෙස ජනාධිපතිවරයාගෙන් සහ කැබිනට් මණ්ඩලයෙන් ඉල්ලා සිටින අතරම, අධිකරණයේ කීර්ති නාමයට සහ නීතියේ ආධිපත්‍යයට සිදුවිය හැකි හානිය පිළිබඳව සැලකිලිමත් වන ලෙසද ඔවුන් ඉල්ලා සිටී.














