ගුවන් ගමන් හෝ වෙනත් සංචාරවලදී වෙනත් පුද්ගලයන්ට අයත් පාර්සල් හෝ ගමන් බෑග් ලබාගෙන ප්‍රවාහනය කිරීමෙන් වළකින ලෙස ශ්‍රී ලංකා රේගුව ගුවන් මගීන් ඇතුළු මහජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් කරයි.
නොදැනුවත්වම මගීන් යොදාගනිමින් මත්ද්‍රව්‍ය ඇතුළු නීති විරෝධී ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමට ජාවාරම්කරුවන් කටයුතු කිරීමේ දැඩි අවදානමක් පැවතීම හේතුවෙන් මෙම දැනුම්දීම සිදු කර තිබේ. රේගු මාධ්‍ය ප්‍රකාශක චන්දන පුංචිහේවා පෙන්වා දෙන්නේ තමන් ප්‍රවාහනය කරන්නේ කුමක්දැයි නොදැන සාමාන්‍ය පුද්ගලයින් බරපතල ගණයේ අපරාධවලට හසුවීමේ අවදානමක් ඇති බවයි.
ඉතා සමීප ඥාතීන් සහ හිතවතුන් පවා නොදැනුවත්වම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් මෙලෙස යොදාගනු ලබන අතර, මෑතකදී 19 හැවිරිදි තරුණයෙකුගේ නමින් මත්ද්‍රව්‍ය තොගයක් ගෙන්වීමට උත්සාහ කළ සිදුවීමක්ද වාර්තා වී ඇත. ගමන් බෑගය තමන් විසින් පරීක්ෂා කළද පහසුවෙන් සොයා ගැනීමට නොහැකි වන පරිදි සූක්ෂම ලෙස මත්ද්‍රව්‍ය සඟවා තැබීමට ජාවාරම්කරුවන් කටයුතු කරයි. ‘නොමිලේ ගුවන් ටිකට් පතක් ලබාදී විදේශගත කිරීමට’ යම් අයෙකු ඉදිරිපත් වන්නේ නම් ඒ පිටුපස ඇති සැබෑ අරමුණ පිළිබඳව දැඩි ලෙස සිතා බලන ලෙස ද රේගුව පවසයි. ලොව බොහෝ රටවල මත්ද්‍රව්‍ය ජාවාරම් සඳහා මරණ දඬුවම ඇතුළු දැඩි දඬුවම් නියම වන බැවින්, කිසිදු විටෙක තමන්ට අයිති නැති භාණ්ඩ හෝ පාර්සල් ප්‍රවාහනය කිරීමට එකඟ නොවන ලෙස වැඩිදුරටත් අවධාරණය කර ඇත.














