ආර්ථික වශයෙන් වැදගත් කර්මාන්තශාලා සහ උසස් අධ්‍යාපන ආයතන රැසකට ප්‍රවේශ පහසුකම් සපයන රත්මලාන කඳවල මාර්ගය සහ එහි දෙපස කාණු පද්ධතියේ ප්‍රතිසංස්කරණ කටයුතු කඩිනමින් ආරම්භ කරන ලෙස අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය අදාළ බලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.
බස්නාහිර පළාත් සභා කාර්යාලයේදී අද (31) පැවති විශේෂ සාකච්ඡාවකදී අගමැතිවරිය මේ බව සඳහන් කළාය. වසර ගණනාවකින් නිසි නඩත්තුවක් සිදු නොවීම, අනවසර ඉදිකිරීම් සහ වැසි ජලය බැසයාමට ඇති බාධා නිසා වර්ෂා කාලයට අදාළ මාර්ගය සහ අවට ප්‍රදේශ ජලයෙන් යටවීම හේතුවෙන් ජනතාව දැඩි අපහසුතාවට පත්වන බව මෙහිදී අනාවරණය විය. පටු ආයතනික සීමාවල නොසිට සියලුම රාජ්‍ය ආයතන ඒකාබද්ධව කටයුතු කරමින්, ඉදිරිපත් කෙරෙන අවසාන සැලසුමට ප්‍රදේශයේ ගංවතුර පාලනය කිරීම ද අනිවාර්යයෙන් ඇතුළත් කළ යුතු බව ඇය අවධාරණය කළාය.














