ශ්‍රී ලංකා නාවික හමුදාව සහ එක්සත් ජනපද නාවික හමුදාව අතර ද්විපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් පැවැත්වෙන CARAT – 2026 නාවික අභ්‍යාසය, නැගෙනහිර මුහුදු තීරයේදී ක්‍රියාකාරී මුහුදු මෙහෙයුම් අදියර වෙත සාර්ථකව පිවිස තිබේ.
ජූලි 27 සිට 30 දක්වා පැවති මූලික අදියරේදී සයිබර් ආරක්ෂාව, වෛද්‍ය මෙහෙයුම්, කිමිදුම් හා ගලවාගැනීමේ කටයුතු, නෞකා පරීක්ෂා කිරීමේ මෙහෙයුම් සහ පුපුරණ ද්‍රව්‍ය නිෂ්ක්‍රීය කිරීමේ පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක විය. මෙවර අභ්‍යාසයට විශේෂත්වයක් එක් කරමින් විෂ සහිත සර්පයන් හඳුනා ගැනීම සහ ආරක්ෂිතව හැසිරවීම පිළිබඳ ප්‍රායෝගික නිරූපණයක් ද සංවිධානය කර තිබිණි. උසස් මට්ටමේ යුදමය මෙහෙයුම් සහ විවිධ සමුද්‍රීය ක්‍රියාන්විත ඇතුළත් මෙම අභ්‍යාසය සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව, නාවික මැරීන් බළකාය, ගුවන් හමුදාව මෙන්ම එක්සත් ජනපද මැරීන් බළකාය ද එකවී සිටිති.














