ශ්‍රී ලංකාවේ ඩිජිටල් කර්මාන්තයේ වර්ධනය වේගවත් කරමින් 2030 වන විට ඩිජිටල් අපනයන ආදායම අමෙරිකානු ඩොලර් බිලියන 5 දක්වා ඉහළ නැංවීමේ අරමුණින් සකස් කර ඇති උපායමාර්ගික මාර්ග සිතියම සමාලෝචනය කිරීම සහ කර්මාන්ත ක්ෂේත්‍රයේ එකඟතාව ගොඩනැගීම සඳහා “The Road to US$5 Billion” ජාතික වැඩමුළුව අද (31) පැවැත්විණි.
ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සහ GovTech Sri Lanka විසින් ලෝක බැංකු සමූහයේ තාක්ෂණික සහාය ඇතිව මෙම වැඩමුළුව සංවිධානය කර තිබිණි.
ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න, ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ GovTech ශ්‍රී ලංකා සභාපති ආචාර්ය හාන්ස් විජයසූරිය සහ ලෝක බැංකු සමූහයේ ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාවේ (IFC) ප්‍රධාන ක්ෂේත්‍ර නිලධාරී වික්ටර් ඇන්ටනිපිල්ලෙයි යන මහත්වරුන් විසින් මෙහි සමාරම්භක දේශන සිදු කරන ලදී.
මානව සම්පත් හා කුසලතා සංවර්ධනය, නවෝත්පාදන, ගෝලීය වෙළෙඳපොළ ප්‍රවේශය සහ තිරසර වර්ධනය සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති මෙන්ම යටිතල පහසුකම් යන ක්ෂේත්‍ර කේන්ද්‍ර කරගනිමින් මෙහිදී තේමාත්මක කණ්ඩායම් සාකච්ඡා සැසි කිහිපයක් ද පැවැත්වුණු අතර, ශ්‍රී ලංකාව කලාපයේ ප්‍රමුඛ ඩිජිටල් ආර්ථිකයක් ලෙස ස්ථානගත කිරීම සඳහා අවශ්‍ය ඒකාබද්ධ ක්‍රියාකාරී වැඩපිළිවෙළක් මෙහිදී මූලිකව සාකච්ඡාවට ලක් විය.














