පේෂ කර්මාන්ත දෙපාර්තමේන්තුව ඇතුළු හඳුනාගත් ආයතන කිහිපයක් ඒකාබද්ධ කරමින් 2027 වසර වන විට “ජාතික හස්ත කර්මාන්ත අධිකාරිය” නමින් නව ආයතනයක් පිහිටුවීමට සැලසුම් කර ඇති බව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී (COPA) අනාවරණය වී තිබේ.
ඒ අනුව, පේෂ කර්මාන්ත දෙපාර්තමේන්තුව, ජාතික ශිල්ප සභාව, ජාතික සැලසුම් මධ්‍යස්ථානය (NDC) සහ ලක්සල යන ආයතන එකමුතුවෙන් මෙම නව අධිකාරිය පිහිටුවීමට නියමිතය.
සම්ප්‍රදායික පේෂ කර්මාන්තය නවීන විලාසිතා (Fashion), සැලසුම් (Designs) සහ තාක්ෂණය සමඟ ඒකාබද්ධ කරමින් ජාත්‍යන්තර වෙළඳපොළ ඉලක්ක කරගත් තරඟකාරී ක්ෂේත්‍රයක් ලෙස සංවර්ධනය කිරීම මෙහි ප්‍රධාන අරමුණ වන බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ. පේෂ කර්මාන්ත දෙපාර්තමේන්තුවේ 2021-2023 සහ 2024 විගණකාධිපති වාර්තා පදනම් කරගනිමින් එහි වර්තමාන ප්‍රගතිය, අභියෝග සහ ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙළ පිළිබඳවද මෙම කාරක සභා රැස්වීමේදී දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇත.














