2030 වසර වනවිට ශ්‍රී ලංකාවේ සමස්ත අපනයන ආදායම අමෙරිකානු ඩොලර් බිලියන 36 ඉක්මවා යාම සිය අරමුණ බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසා තිබේ.
විදේශයන්හි පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩලවල සේවය කරන වාණිජ දෙපාර්තමේන්තුවේ වාණිජ නිලධාරීන් හමුවූ අවස්ථාවේදී අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය. රජයේ ආර්ථික සංවර්ධන න්‍යාය පත්‍රයට සහාය දැක්වීම පිණිස වෙළෙඳ, ආයෝජන, සංචාරක සහ නිපුණ රැකියා අවස්ථා තවදුරටත් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් මෙම සාකච්ඡාව පවත්වා ඇත. ජාත්‍යන්තර වෙළඳපොළ තුළ ශ්‍රී ලංකාවේ වෙළඳ සහ පුළුල් ආර්ථික අවශ්‍යතා ඉදිරියට ගෙන යාම සඳහා වාණිජ නිලධාරීන්ගේ කාර්යභාරය අතිශය වැදගත් බව අවධාරණය කළ අමාත්‍යවරයා, ජාතික අපනයන සංවර්ධන සැලැස්මේ ඉලක්කයන් සමඟ තම කටයුතු අනුගත කරන ලෙස ද නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය.













