ශ්‍රී ලංකාවේ මහ කන්නයේ වී අස්වැන්න පසුගිය වසර හයක කාලය තුළ මෙට්‍රික් ටොන් 452,000කින් පහළ ගොස් ඇති බව මහ බැංකු වාර්තා උපුටා දක්වමින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා පවසා තිබේ.
පසුගිය 2019-2020 මහ කන්නයේ මෙට්‍රික් ටොන් 3,197,000ක්ව තිබූ වී අස්වැන්න 2024-2025 මහ කන්නය වන විට මෙට්‍රික් ටොන් 2,745,000ක් දක්වා අඩුවී ඇත. වගා කරන ලද හෙක්ටයාර් ප්‍රමාණය 752,000ක සිට ලක්ෂ අට දක්වා වැඩි වී තිබුණද, ආර්ථික තත්ත්වයන් හේතුවෙන් ප්‍රමාණවත් පොහොර සහ කෘමිනාශක යෙදීමට නොහැකි වීම සහ ස්වාභාවික උපද්‍රව නිසා හෙක්ටයාරයකින් ලැබෙන අස්වැන්න සියයට 19කින් (කිලෝ 4,821 සිට 3,914 දක්වා) අඩුවී ඇති බව කෘෂි විශේෂඥයෝ පෙන්වා දෙති.













