මහර බන්ධනාගාරයේ හටගත් නොසන්සුන්තාව මේ වන විට පාලනය කිරීමට පියවර ගෙන තිබෙනවා.ඊයේ (01) පස්වරුවේ රැඳවියන් සහ බන්ධනාගාර නිලධාරීන් අතර ඇති වූ මතභේදාත්මක තත්ත්වයක් හේතුවෙනුයි මහර බන්ධනාගාරය තුළ නොසන්සුන්තාවයක් හට ගැනුනේ. එහිදී රැඳවියන් 7 දෙනෙකු තුවාල ලබා රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබූ අතර ඉන් එක් රැඳවියෙකු ජීවිතක්ෂයට පත් වුණා.තත්ත්වය පාලනය කිරීම සඳහා විශේෂ කාර්ය බළකාය, යුධ හමුදාව, සහ පොලීසිය යෙදවීමටද පියවර ගෙන තිබුණා. එමෙන්ම ඇති වූ නොසන්සුන්තාවය නිරීක්ෂණය කිරීම සඳහා ගුවන් හමුදාව විසින් බෙල් 412 දරන ගුවන් යානයක් සහ ඩ්‍රෝන යානායක් යෙදවීමටද පියවර ගනු ලැබුවා.මේ අතර පවතින තත්ත්වයන් තුළ මහර ප්‍රදේශයේ පොලිස් බල ප්‍රදේශ කිහිපයකට නැවත දැනුම්දෙන තුරු පොලිස් ඇඳිරි නීතිය පැනවීමටද පොලීසිය කටයුතු කළා. ඒ අනුව 246/කැන්දලියද්ද පාළුව – බටහිර, 246/සී කැන්දලියද්ද පාළුව – උතුර සහ 181/ජී දඹුව යන ග්‍රාමසේවා වසම් සඳහා මෙම පොලිස් ඇඳිරිනීතිය බලපැවැත්වෙනු ඇති.මේ අතර නොසන්සුන් වූ මහර බන්ධනාගාරයේ තත්ත්වය නිරීක්ෂණය කිරීම සඳහා ආරක්ෂක ලේකම් සම්පත් තුයියකොන්තා මහතා සහ නව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න මහතාද මහර බන්ධනාගාර පරිශ්‍රයට ඊයේ (1) රාත්‍රියේ පැමිණ තිබෙනවා.මෙම සිද්ධිය සම්බන්ධව අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පැවසුවේ නොසන්සුන්තාවයෙන් තුවාල ලැබූවන් ප්‍රතිකාර ලබමින් සිටින බවත්, අමාත්‍ය ආනන්ද විජේපාල, ආරක්ෂක ලේකම් සහ පොලිස්පතිවරයා සමග සාකච්ඡා කර මහර බන්ධනාගාරයට අවශ්‍ය ආරක්ෂාව සැපයීමට පියවර ගෙන ඇති බවයි. තවද බන්ධනාගාරය තුළ ගිනි තැබීමක් සිදුව ඇති බවත් එම තත්ත්වය පාලනය කිරීමට පියවර ගත් බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළා.














