ඊයේ (1) රාත්‍රිය පුරාවට මහර බන්ධනාගාරය තුළ රැඳවියන් පිරිසක් පරිපාලනය සමඟ ගැටුම් ඇති කර ගනිමින් බන්ධනාගාරයෙන් පලා යෑමට උත්සාහ කර ඇති අතර, ආරක්ෂක අංශ විසින් අවස්ථා කිහිපයකදී දරණ ලද එම උත්සාහයන් ව්‍යර්ත කොට තිබෙන බව වාර්තා වේ.එම සිදුවීම් අතරතුර ඔවුන් විසින් බන්ධනාගාරයේ දේපළ රැසකට දැඩි හානි සිදුකර ඇති අතර, පරිපාලන ගොඩනැගිලි හා ලිපිලේඛනවලට ද ගිනි තබා විනාශ කර තිබේ. අද (2) පෙරවරුව වන විට බන්ධනාගාර නිලධාරීන් හා ආරක්ෂක අංශවල සහාය ඇතිව බන්ධනාගාරය තුළ තත්ත්වය සම්පූර්ණයෙන්ම පාලනය කිරීමට හැකි වී ඇත.සිද්ධියේ ස්වභාවය හා එයට හේතු වූ කරුණු සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් මේ වන විට ආරම්භ කර ඇති අතර, ඇතැම් සිදුවීම් සැලකිල්ලට ගනිමින් මෙය රජය අපහසුතාවයට පත් කිරීමේ අරමුණින් සැලසුම් කළ ක්‍රියාමාර්ගයක්ද යන්න පිළිබඳවද විමර්ශන අංශවල අවධානය යොමුවී ඇති බව වාර්තා වේ.
















