මහර බන්ධනාගාරයේ ඇති වූ සිදුවීමත් සමඟ අනෙකුත් බන්ධනාගාරවල ආරක්ෂාව සම්බන්ධව දැඩි අවධානයෙන් පසුවන බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතා පවසයි.
අද (02) මහර බන්ධනාගාරයේ තත්ත්වය නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව පිටතට පැමිණි අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව පැවසූ අතර, වැලිකඩ, මැගසින්, කළුතර සහ මීගමුව ඇතුළු සියලු බන්ධනාගාරවල ආරක්ෂාව සම්බන්ධව විශේෂ අවධානයක් මේ වන විට යොමු කර ඇති බවද හෙතෙම සඳහන් කළේය.
ඊයේ ඇති වූ සිද්ධියත් සමඟ දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති වූ බවත්, එය අද අලුයම් කාලය දක්වාම පැවති බවත් පෙන්වා දුන් නියෝජ්‍ය පොලිස්පතිවරයා, බොහෝ රැඳවියන් විසින් බන්ධනාගාරයේ දේපොළ රැසකට හානි කර ඇති බවද කියා සිටියේය. කෙසේ වෙතත්, අද උදෑසන වන විට බන්ධනාගාර දෙපාර්තමේන්තුව, පොලීසිය, විශේෂ කාර්ය බළකාය, ගුවන් සහ නාවික හමුදාව ඇතුළු සියලු ආරක්ෂක අංශ එක්ව තත්ත්වය පාලනය කිරීමට හැකි වූ බව ඔහු සඳහන් කළේය.
ඒ අනුව ඉදිරි පැය කිහිපය තුළ බන්ධනාගාරයේ ආරක්ෂාව සම්පූර්ණයෙන්ම තහවුරු කර එහි කටයුතු සාමාන්‍ය තත්ත්වයට පත් කිරීමට කටයුතු කරන බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් පැවසීය.














