මහර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය මේ වන විට සම්පූර්ණයෙන්ම පාලනය කර සමනය කර ඇති බවත්, එය මීගමුව බන්ධනාගාරයේ ඇති වූ සිද්ධියට වඩා හාත්පසින්ම වෙනස් ස්වභාවයක් ගන්නා බවත් අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පවසයි.
අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ මීගමුව බන්ධනාගාරයේදී ඇති වූයේ රැඳවියන් දෙපිරිසක් අතර ගැටුමක් වුවද, මහර බන්ධනාගාරයේ සිද්ධිය බන්ධනාගාර පරිපාලනයට එරෙහිව එල්ල වූවක් බවයි. රජය විසින් බන්ධනාගාර තුළට මත්ද්‍රව්‍ය ඇතුළු වීම වැළැක්වීමට ගෙන ඇති දැඩි ක්‍රියාමාර්ග හේතුවෙන් ඇති වූ අකමැත්ත සහ කෝපය මෙම නොසන්සුන්තාවයට හේතු වන්නට ඇතැයි සැක කරන බවද ඔහු සඳහන් කර ඇත.”අපි හැම බන්ධනාගාරයකම මත්ද්‍රව්‍ය ඇතුළට යන එක පාලනය කරන්න වැඩපිළිවෙළක් යොදලා තියෙනවා. ඒකට තියෙන අකමැත්ත සහ තරහව නිසා මෙවැනි තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. මූලික වාර්තාව ලැබුණු පසු අපිට මේ ගැන නිශ්චිතවම කියන්න පුළුවන්,” යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා තිබේ.මේ වන විට බන්ධනාගාරයේ ආරක්ෂාව සඳහා පොලිසිය සහ විශේෂ කාර්ය බලකාය (STF) තවදුරටත් යොදවා ඇති අතර, හානි වූ දේපළ පිළිසකර කිරීමේ කටයුතුද ආරම්භ කර ඇත. රැඳවියන් මේ වන විට ඔවුන්ගේ සිර මැදිරි වෙත යොමු කර ඇති අතර, ඔවුන්ට අවශ්‍ය ආහාර පාන ලබා දෙමින් බන්ධනාගාරයේ දෛනික කටයුතු යථා තත්ත්වයට පත් කිරීමට පියවර ගෙන තිබේ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් මූලික වාර්තාවක් කැඳවා ඇති බවත්, එක් රැඳවියෙකු මියගොස් ඇති බැවින් ඒ පිළිබඳව නීතිමය කටයුතු සිදු කරන බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇති අතර, සම්පූර්ණ වාර්තාව ලැබුණු පසු මේ පිළිබඳව වැඩිදුර තොරතුරු අනාවරණය කිරීමට නියමිතය.














