ගාල්ල බන්ධනාගාරයේ රඳවා සිටි සැකකරුවෙකු අද (02) අලුයම බන්ධනාගාරයෙන් පලාගොස් ඇතැයි බන්ධනාගාර අධිකාරි කාර්යාලය පවසයි.
මෙෙසේ පලාගොස් ඇත්තේ අම්බලන්ගොඩ කුලීගොඩ ගලගොඩ පදිංචිකරුවෙකු වන අගම්පොඩි දිලීප සම්පත් නමැති සැකකරුවෙක් වන අතර, ගෙවල් බිඳුම් සහ සොරකම් චෝදනා යටතේ බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩු හතරක් සම්බන්ධයෙන් ඔහු ඉකුත් ජුනි මස 22 වන දින සිට බන්ධනාගාරගත කර සිටි අයෙකි. අද (02) උදෑසන රැඳවියන්ගේ ලේඛනය පරීක්ෂා කිරීමේදී මෙම රැඳවියා බන්ධනාගාරයේ ආරක්ෂක තාප්පයෙන් පැන පලාගොස් ඇති බවට අනාවරණය වී ඇති අතර, මීට පෙර අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රඳවා සිටියදීද ඔහු මෙලෙස තාප්පයෙන් පැන පලාගොස් ඇති පුද්ගලයෙකු බව හෙළි වී තිබේ.
සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා ඇත.














